Saturday, May 4, 2024

General line - 0115112241

ව්‍යාජ හැදුනුම්පත් සැකසූ පුද්ගලයෙක් කිරිබත්ගොඩදී අත්අඩංගුවට




ව්‍යාජ ලෙස ජාතික හැදුනුම්පත් සකස් කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ, වේවැල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ජාතික හැදුනුම්පත් සැකසූ ස්ථානය වැටලූ අවස්ථාවේදීයි.

එම ස්ථානයේ තිබී සකස් කරන ලද ව්‍යාජ හැදුනුම්පත් 05 ක් සහ ව්‍යාජ රියදුරු බලපත්‍රයක් ද සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

ඊට අමතරව හැදුනුම්පත් සකස් කිරීමට යොදාගත් ස්ක්‍රීන් ප්‍රින්ටර් අච්චු 05 ක්, ලැමිනේටින් කාඩ් 90 ක්, ව්‍යාජ රබර් මුද්‍රා කිහිපයක් සහ හැදුනුම්පත් සැකසීමට යොදාගත් කඩදාසි ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කැළණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66 ක් වන සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.