Saturday, May 4, 2024

General line - 0115112241

කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ප්‍රවේශයට තවත් රටවල් පෙළඹෙනු ඇති බවට ජනපතිගෙන් ප්‍රකාශයක්




අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම උදෙසා කාබනික කෘෂිකර්මාන්තයක් සඳහා වූ ශ්‍රී ලංකාවේ ප්‍රවේශයට, තවත් රටවල් පෙළඹෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සැප්තැම්බර් මස පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට වේදිකාවක් සකසමින් ඊයේ ඉතාලියේ රෝම නගරයේ දී ඇරඹුණු “එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුවේ” රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපතිවරයා  මේ බව කියා සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිාධානයේ මහ ලේකම්, ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ මූලිකත්වයෙන් තෙදිනක් පුරා පැවැත්වෙන සමුළුවට රටවල් රැසක නායකයින් එක්ව සිටිනවා.

වසර 2030 වන විට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක වෙත පිවිසීමේ දී ආහාර පද්ධතිවල ඇති බලපෑම සමුළුව මගින් සාකච්ඡාවට ලක් කෙරෙනවා. 

ආහාර සඳහා ඇති අයිතිය, මූලික මිනිස් අයිතිවාසිකමක්. තම ජනතාව සඳහා මෙම අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජයන් තනිව ක්‍රියා කළ ද ගෝලීය ආහාර පද්ධතියේ පවතින සංකීර්ණතා පිළිබඳව පුළුල්ව අවබෝධ කරගත යුතු බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. 

වසර දහස් ගණනක් පුරා දිවෙන, පුරාණ දියුණු වාරි ශිෂ්ටාචාරයක් සමග ගැඹුරින් බැඳුණු කෘෂිකාර්මික උරුමයක් ශ්‍රී ලංකාව සතුයි. එබැවින් තිරසර කාබනික කෘෂිකර්මාන්තය මෙරටට අලුත් දෙයක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. නව විද්‍යාත්මක දියුණුව හා කළමනාකරණ ක්‍රමවේදයන් සමග  මෙරටට හිමි ඓතිහාසික භාවිතයන් පුනර්ජීවනයට උත්සාහ ගන්නා බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් සඳහන් කළා.