Saturday, April 27, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ ගැටුම් තවත් උග්‍ර කරවමින් අයිඑස්අයිඑස් සහ අල්කයිඩාවත් සටනට




තලේබාන් සංවිධානය සහ රජයේ හමුදා අතර ඇෆ්ගනිස්තානයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මතුව ඇති අර්බුද උග්‍ර අතට හරවමින් අයිඑස්අයිඑස් සහ අල්කයිඩා ත්‍රස්ත සංවිධාන ද ඇෆ්ගනිස්තාන තුළ මෙහෙයුම් දියත් කර ඇතැයි වාර්තා වනවා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත් කළ අලුත්ම වාර්තාවක දැක්වෙන්නේ තලේබාන් සංවිධානය පුලුල්ව,සහ බලවත්ව ක්‍රියාත්මක නොවන පළාත් ගණනාවක මෙම මෙම සංවිධාන දෙක සිය ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවයි.

නුරිස්තාන් ,බද්ගීස්, සරේඊෆුල්, බග්ලාන්,කුන්දුස් වැනි පළාත් ඒ අතර වන බවයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල වාර්තාවේ දැක්වෙන්නේ.

මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් මේ වනවිට අදාළ ප්‍රදේශවල  හමුදාව,පොලිසිය ,රජයේ සේවකයන්, සහන සේවා සේවකයන් සහ සිවිල් ක්‍රියාකාරිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර ගණනාවක්ම එල්ල කර ඇතැයිද සදහන්.

තලේබාන් සංවිධානය හැරණු විට අයිඑස්අයිඑස් ,අල්කයිඩා වැනි තවත් ත්‍රස්තවාදී සංවිධාන මෙළෙස ඇෆ්ගනිස්තානය තුළ හිස එසවීම එරට සාමය ඇති කිරීම සදහා දැනට සිදුකෙරෙන සාකච්ඡා  බරපතල අර්බුදයකට ඇද දමන්නක් බව විචාරකයන්ගේ අදහසයි.

මේ අතර තලේබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර පවතින ගැටුම් ද තවත් උග්‍රවී තිබෙනවා.

ඇතැම් විදෙස්  වාර්තා කළේ ඇෆ්ගනිස්තානයේ හරි අඩක පමණ බලය තම ග්‍රහණයට ගැනීමට තලේබාන් සංවිධානය මෙි වනවිට සමත්ව ඇති බවයි.

මේ හේතුවෙන් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තාන රජයේ හමුදාවන්ගේ සහයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට තීරණය කර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ ඇමරිකානු මැරීන් බලකායේ ප්‍රධානී ජනරාල් කෙනත් මැකන්සි මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ
පසුගිය සතියේ සිට ඇෆ්ගනිස්තාන හමුදාවල සහයට ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළ අතර එය ඉදිරි සතිවලද ක්‍රියාත්මක කරන බවයි.

කෙසේවෙතත් ,සැප්තැම්බර් මාසයේ ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම  ඉවත් කර ගැනීමෙන් අනතුරැව ද මෙම ගුවන් ප්‍රහාර එල්ල කරන්නේදැයි මාධ්‍ය නැගූ ප්‍රශ්නයට ඔහු පිළිතුරක් ලබාදී නැහැ.