Monday, April 29, 2024

General line - 0115112241

රටින් පලායන ඇෆ්ගන් වැසියන් හමුවේ කාබුල් ගුවන් තොටුපොල යුද පිටියක් වෙයි (VIDEO)




තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බලය අත්පත් කර ගැනීම හමුවේ කාබුල් වැසියන් දහස් ගනනක් රට අතහැර පලා යමින් සිටිනවා. ඒ අනුව කාබුල් වැසියන් සිය නිවාස, රැකියා හා මුදල් ඇතුලු සියල්ල හැර දමා පලා යමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ හමුවේ කාබූල් ගුවන් තොටුපල තුල දැඩි තදබදයක් පවතින බවද වාර්තා වනවා.

රටින් පලා යාම සදහා ගුවන් යානයක් සොයා ගැනීමේ අපේක්ෂාවෙන් කාබුල් වැසියන් විශාල පිරිසක් ගුවන් තොටුපලට රැස්ව සිටිනවා. බොහෝ පිරිස් කාබුල් ගුවන් තොටුපොලේ ඇති ගුවන් යානාවලට ඇතුළුවීම සදහා පොරබදින ආකාරය දැක්වෙන වීඩියෝද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් තිබෙනවා. 

මේ අතර සිය රටවැසියන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් මුදා ගැනීමේ අපේක්ශාවෙන් අමෙරිකාව ඇතුලු බටහිර රටවල් රැසක්ද සිය ගුවන් යානා කාබුල් ගුවන් තොටුපළ වෙත ගොඩබස්වා ඇති බවයි පැවසෙන්නේ. රටින් පලා යාමට උත්සහ දරන ඇෆ්ගන් වැසියන් පාලනය කර ගැනීමට නොහැකි වීම හමුවේ අමෙරිකානු හමුදාව විසින් ගුවන් තොටුපලේදී ගුවනට වෙඩි ප්‍රහාර රැසක් ද එල්ල කර තිබෙනවා.

පවතින තත්ත්වය මත ඇෆ්ගන් ගුවන් සීමාව භාවිත නොකරන බව ගුවන් සමාගම් කිහිපයක්ම මේවනවිට නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ. ඇෆ්ගනිස්තානය තුල පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලය ද අද පස්වරුවේ විශේෂ හමුවක් කැදවා තිබෙනවා.

මේ අතර කාබුල් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කර ගනිමින් සිය බලය තහවුරු කර ගත් තලෙයිබාන් සංවිධානය නිවේදනය කලේ ඇෆ්ගන් යුද්ධය නිමා කල බවයි. කාබුල් අගනුවර තත්ත්වය සාමකාමි බව ද ඔවුන් පැවසුවා. මේ වනවිට කාබුල් අගනුවර සෑම මුරපොලකම පාහේ ආයුද සන්නද්ධ තලෙයිබානුවන් සිටින බවත් එම සංවිධාන විසින් අගනුවර අමතරව මුරපොල ස්ථාපිත කර ඇති බවද විදෙස් වාර්තාවල දැක්වුණා.

මේ අතර තලෙයිබාන් ආක්‍රමණය හමුවේ උස්බෙකිස්තානයට පලා ගිය ඇෆ්ගනිස්ථාන ජනාධිපති අශ්‍රෆ් ගහානි පවසන්නේ ලේ වැගිරීම් වැලැක්වීම සදහා තමන් එලෙස රට අතහැර පලා ගිය බවයි.