Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාව ඇෆ්ගනිස්තානයේ සිටි සියලු රාජතාන්ත්‍රිකයින් සිය රටට ගෙන්වා ගනී




ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි සියලු රාජතාන්ත්‍රික නිලධාරීන් ඉන්දියාව විසින්  සිය රටට ගෙන්වා ගෙන තිබෙනවා. ඇෆ්ගනිස්තානයේ ඉන්දීය තානාපතිවරයා ඇතුලු රාජතාන්ත්‍රික නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන්, අතරමංව සිටි ඉන්දියානුවන් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ඇතුලු 120 දෙනෙකු ඊයේ දිනය තුළ ඉන්දියාවට ගෙන්වා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් “සී 17 ග්ලොබ් මාස්ටර්” නමැති ගුවන් යානයක් එම මෙහෙයුම සඳහා එක් කර තිබෙනවා. මීට පෙරද ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි ඉන්දියානුවන් පිරිසක් ඉන්දියාව විසින් සිය රටට ගෙන්වා ගත් අතර ඒ අනුව දින 03 ක් තුළ ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගත් ඉන්දියානුවන් ගණන 192ක්. තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ පාළන බලය අත්පත් කර ගැනීමත් සමඟ ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර සිදුව ඇති බල පෙරලියත් සමඟ විදෙස් රටවලට පළාගොස් සිටි තලෙයිබාන් සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් රැසක් ඇෆ්ගනිස්තානයට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවත් රටවල් කිහිපයක් සිය රාජතාන්ත්‍රිකයින් සහ සිය සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා. මේ අතර ඇෆ්ගන් සරණාගතයින් 20,000 ක් පමණ බි්‍රතාන්‍යයට ගෙන්වා ගැනීමේ සූදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන දින 02 කට පසු ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් තලෙයිබාන් සංවිධානය ප්‍රකාශ කළේ සිය රට ත්‍රස්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා විදේශ සටන් කරුවන්ගේ කඳවුරක් ලෙස භාවිත නොකරන බවයි. ෂරියා නීතියට අනුව කාන්තාවන්ට අයිතිවාසිකම් භුක්ති විදිය හැකි බවද තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජායිඩ් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.