Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති තලේබාන් සංවිධානයට එරෙහි සටනට




තමන් කිසි විටක තලේබාන් සංවිධානය හමුවේ දණ නොනමන බව  ඇෆ්ගනිස්තානයේ පළමු උප ජනාධිපති අමුරැල්ලා සලේ පවසනවා. ඔහු සදහන් කරන්නේ, තමන් කිසිදු තත්වයක් යටතේ තලේබාන් ත්‍රස්තවාදී සංවිධානය සමග එක් වහළක් යට කටයුතු නොකරන බවයි.

තමන්ගේ හඩට සවන් දෙන මිලියන ගණනක් වන ජනතාවට අසාධාරණයක් කිරීමට නොහැකි බව ද ඔහු සදහන් කරනවා.

මේ වනවිට පන්ජ්ෂීර් තැනිතලාවේ රැදී සිටින බවට විශ්වාස කෙරෙන අමුරැල්ලා සලේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ එම කලාපය අත්පත් කරගැනීමට තලේබාන් සංවිධානයට ඉඩ නොතබන බවයි.

අමුරැල්ලා සලේ, 90 දශකයේදී තලේබාන් සංවිධානයට එරෙහිව සටන් වැදුණු උතුරැ දිග සන්ධානයේ නායක අහමඩ් ෂා මසූඩ්ගේ ප්‍රබල අනුගාමිකයෙක්.

මෙම උතුරැ දිග සන්ධානය පසුව ඇමරිකාව ප්‍රමුඛ සංධානය සමග ද එක්ව තලේබාන් සංවිධානයට එරෙහිව සටන් වැදුණා.

අමුරැල්ලා සලේ සමග ෂා මෂුඩ්ගේ පුතු වන අහමඩ් මෂුඩ් ද සම්බන්ධ වී සිටින අතර ,ඔවුන් මේ වන විට තලේබාන් විරෝධී සියලු සටන්කාමීන් සහ සංවිධාන යළි සන්ධාන ගත කිරීමේ නිරතව සිටින බව සදහන්.

ඒ අනුව ඔවුන් තලේබාන් සංවිධානයට එරෙහිව දීර්ඝකාලීන ගරිල්ලා යුද්දයකට අවතීර්ණ වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

තලේබාන් විරෝධී සටන්වලට නායකත්වය දුන් තම නායකයා මෙන්ම වීරයා ද වූ ෂා මසූඩ්ගේ ආත්මය සහ කීර්තිය පවා දීමට නොහැකි බවත් ඒ අනුව මූලධර්මවාදී තලේබාන් සංවිධානයට එරෙහිව කටයුතු කරන බවත් එම නව සන්ධානයේ මතය වී තිබෙනවා.

මේ අතර , ඇමරිකාව මෙහිදී ක්‍රියා කළ ආකාරය  වගකීම් විරහිත බවට  චෝදනා කර ඇති අමුරැල්ලා සලේ, මෙහිදී පකිස්තානය ,තලේබාන් සංවිධානය පසෙකින් සිටි බව සැගවිය නොහැකි සත්‍යයක් බව ද අවධාරණය කර තිබෙනවා.