Friday, May 10, 2024

General line - 0115112241

තලේබාන් සංවිධානය මාධ්‍යවේදීන් දඩයමේ




තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ සිටින ජනමාධ්‍යවේදීන් සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මේ තත්වය තුළ ඇෆ්ගනිස්තානයේ කොටුවී සිටින ජනමාධ්‍යවේදීන් සහ සේවකයන් මුදාගැනීම සදහා කටයුතු කරන ලෙසයි අන්තර්ජාතික ජනමාධ්‍යවේදීන්ගේ ෆෙඩරේෂනය ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ.

ජර්මනියේ ඩීඩබ්ලිව් පුවත්සේවයට සම්බන්ධ මාධ්‍යවේදීන් සිව්දෙනෙකු සහ පරිවර්තකයෙකු සොයා තලේබාන් සමාජිකයන් පසුගියදා ඔවුන්ගේ නිවෙස් සෝදිසි කර තිබුණා.

ඔවුන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇති බැවින් ඔවුන් මුදාගැනීමට කටයුතු කරන ලෙසයි ඩීඩබිලිව් පුවත්සේවයේ ප්‍රධානීන් ජර්මන් රජය වෙත අවධාරණය කර ඇත්තේ.

මේ අතර ඇමරිකානු මාධ්‍ය සමග සමීපව කටයුතු කළ තවත් නිදහස් මාධ්‍යවේදියෙකු සොයා ද තලේබාන්වරැන් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඇෆ්ගනිස්තාන  කැමරා මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ජලාල්බාද්හිදී තලේබාන්වරැන් විසින් දරැණු ලෙස පහරදී ඇතැයි ඇ⁣ෆ්ගනිස්තානු නිදහස් ජනමාධ්‍ය සංසදය ප්‍රකාශ කරනවා.

එම  සංසදය වැඩිදුරටත් පැවසුවේ කාබුල් ගුවන් තොටුපල ආසන්නයේදී තවත් ජනමාධ්‍යවේදියෙකු තලේබාන්වරැන්ගේ පහරකෑමට ලක්ව ඇති බවයි.

තලේබාන් සංවිධානය කාන්තා ජනමාධ්‍යවේදිනියන් ඇතුළු සියලු ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙන බවත් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරකින බවටත්  පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොරොන්දු වුණා.

ඔවුන් ප්‍රසිද්ධියේ එසේ අදහස් පළකළත් ඇෆ්ගනිස්තාන මාධ්‍යවේදීන් මෙි වනවිට දැඩි තර්ජනයකට මුහුණ දී සිටින බවයි එරට වාර්තා සදහන් කළේ.

කාන්තා ජනමාධ්‍යවේදිනියන්ට සහ හසාරා සුලු ජන ප්‍රජාව නියෝජනය කරන මාධ්‍යවේදීන් තලේබාන්වරැන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී ඇතැයි ද එම වාර්තා වැඩිදුරටත් සදහන් කළා.