Friday, May 10, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය, ඇෆ්ගනිස්තානයේ මුදා ගැනීමේ මෙහෙයුම් අවසන් කරයි




කාබුල් ගුවන් තොටුපළේ රැඳී සිටින සිවිල් වැසියන් මුදා ගැනීමේ බ්‍රිතාන්‍යය මෙහෙයුම් අදින් අවසන් වනවා. සිවිල් වැසියන් රැගෙන ඒමේ ගුවන් ගමන් තවදුරටත් සිදුකෙරෙන බවත් එලෙස කාබුල් ගුවන් තොටුපළින් පිටවීමට  නියමිතව ඇත්තේ තවත් ගුවන් යානා කිහිපයක් පමණක් බවත් බ්‍රිතාන්‍යය හමුදාවේ ප්‍රධානියා සඳහන් කළා. 

බ්‍රිතාන්‍යයට පැමිණීමට කැමැත්තෙන් පසුවන සියලුදෙනා මුදා ගැනීමට නොහැකිවීම හද සසල කරවන සිදුවීමක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඒ අනුව බ්‍රිතාන්‍යයට පැමිණීමට සුදුසුකම් සහිත සිවිල් වැසියන් සිය ගණනක් තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින බව ද බ්‍රිතාන්‍යය හමුදා ප්‍රධානියා සඳහන් කළා. 

ඉකුත් 13 වන දා සිට මේ දක්වා කාලය තුලදී බ්‍රිතාන්‍යයේ මුදා ගැනීමේ මෙහෙයුම් මගින් පුද්ගලයින් 14,543 දෙනෙකු ආරක්ෂිතව මුදා ගෙන තිබෙනවා. 

ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළේ සිදු කෙරෙන මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහයදීම වෙනුවෙන් බ්‍රිතාන්‍යය හමුදා සාමාජිකයින් 1000 ක් පමණ කාබුල් නුවර රුඳී සිටියා. ඉන් බොහෝ පිරිසක් මේවනවිටත් ඇෆ්ගනිස්තානයෙන් පිටව තිබෙනවා. 

කෙසේවෙතත් විදෙස් හමුදාවන්ට තවදුරටත් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටීමට අවසර ලබාදෙන්නේ ලබන 31 වනදා තෙක් පමණක් බවයි තලෙයිබාන් සංවිධානය මේවනවිටත් පවසා ඇත්තේ. 

ඒ අනුව පවතින අවදානම් තත්ත්වය හමුවේ නේටෝ සංවිධානයට අයත් රටවල් රැසක් සිය මුදා ගැනීමේ මෙහෙයුම් මේවනවිටත් අවසන් කර තිබෙනවා.