Friday, May 10, 2024

General line - 0115112241

කාබුල් ගුවන් තොටුපළට එල්ලවිය හැකි තවත් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්




ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළට තවත් ප්‍රහාරයක් එල්ලවිය හැකි බව අමෙරිකානු ජනධිපති ජෝ බයිඩ්න් අනතුරු අඟවා තිබෙනවා. අද දිනයේදී එම ප්‍රහාරය එල්ල වීමට ඉඩ ඇති බව එරට ආරක්ෂක අංශ තමන්ට දැනුම් දුන් බවයි අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ. 

ඉකුත් බ්‍රහස්පතින්දා කාබුල් ගුවන් තොටුපළට එල්ලවූ ප්‍රහාරයකින් අමෙරිකානු හමුදා සෙබලුන් ඇතුලු පුද්ගලයින් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. එම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබුණේ “ අයි එස් ” ත්‍රස්ථ සංවිධානයයි. පසුව ඊට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ආරක්ෂක අංශ “ අයි එස් ” ත්‍රස්ථයින් රැඳී සිටින ස්ථානයක් වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී එම සංවිධානයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිත්කෂයට පත්වූ බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ. 

බ්‍රිතාන්‍යය විසින් සිය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කාබුල් ගුවන් තොටුපළෙන් ඉවත් කර ගෙන තිබුණද අමෙරිකානු සාමාජිකයින් තවදුරටත් එම ගුවන් තොටුපළේ රැදී සිටින බව විදෙස් වාර්තාවල වැඩි දුරටත් දැක්වෙනවා.

මේ අතර ඩුබායි සිට එංගලන්තයේ බර්මින්හැන් දක්වා මුදවා ගැනීමේ ගුවන් ගමනක් අතරතුරදී 26 හැවිරිදි ඇෆ්ගනිස්තාන කාන්තාවක් දියණියක් බිහිකර තිබෙනවා. තුර්කි ගුවන් සේවයට අයත් යානයකින් ඇය එංගලන්තය දක්වා ගමන් කර ඇති අතර ඇය සිය දියණිය බිහි කර ඇත්තේ කුවේට් ගුවන් අවකාශය තුළයි. එම අවස්ථාවේදී ගුවන් යානය තුළ කිසිදු වෛද්‍යවරයෙකු සිට නොමැති අතර දරු ප්‍රසූතිය සිදුකිරීමට උපකාර කර ඇත්තේ තුර්කි ගුවන් කාර්ය මණ්ඩලයයි. 

දරුවා උපත ලැබීමෙන් පසු අදාළ ගුවන් යානය කුවේටයට ගොඩ බස්වා ඇති අතර එම දියණියට තුර්කි භාෂාවෙන් “ හවා ” ලෙස නම් තබා තිබෙනවා. මීට දින කිහිපයකට පෙර තවත් ඇෆ්ගනිස්තාන කාන්තාවක් අමෙරිකානු ගුවන් යානයක් තුළදී දියණියක් බිහි කළා.