Monday, April 29, 2024

General line - 0115112241

කාබුල් නුවරදී IS මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැගත් වාහනයකට අමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්




ඇෆ්ඝනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි හමීඩ් කර්සායි ගුවන් තොටුපලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි IS - K සංවිධානයට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැගත් රථයකට ඇමරිකානු හමුදාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් රැගත් වාහනය විනාශ වී ගොස් තිබෙන බවයි අමෙරිකානු හමුදාව ප්‍රකාශ කළේ.

සටන්කාමීන් පැමිණි රථයේ ද පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් තිබූ බවට සැක කෙරෙන අතර ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු අදාළ මෝටර් රථයේ විශාල පිපිරීමක් සිදුවූ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ. 

මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු ඇතිවූ පිපිරීමෙන් ඇෆ්ගනිස්ථාන වැසියන් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අතර දරුවන් තිදෙනෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

බුද්ධි තොරතුරකට අනුව ඇමරිකානු හමුදා IS-K බෝම්බකරුවන් පැමිණි රථය පළමුව නිරීක්ෂණය කර පසුව ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කර තිබුණා.

මේ අතර කාබුල් අගනුවර පිහිටි හමීඩ් කර්සායි ගුවන් තොටුපොළ ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර 05ක් අද උදෑසන එල්ලවූ බව අමෙරිකානු ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටිනවා. මෙම රොකට් ප්‍රහාර ප්‍රති මිසයිල නාශක පද්ධතිය විසින් නිරීක්ෂණය කිරීමෙන් පසු ඒවා විනාශ කිරීමට සමත්වූ බවයි අමෙරිකානු ආරක්ෂක බලධාරීන් සඳහන් කර සිටියේ.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊයේ ප්‍රකාශ කළේ ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුලදී කාබුල් ගුවන් තොටුපොළ ඉල්ක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් ඇති බවට ආරක්ෂක අංශ ප්‍රධානින් තමන් දැනුවත් කර සිටිය බවයි.