Monday, April 29, 2024

General line - 0115112241

අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටව යයි 




දශක 02 ක් පුරා පැවැති දීර්ඝ යුද්ධය නිමා කරමින් අමෙරිකානු හමුදාව ඇෆ්ගනිස්තානයෙන් පිටව ගියා. 

ඒ, දින ගණනාවක් පුරා සිදු කෙරුණු මුදා ගැනීමේ මෙහෙයුම් ද අවසන් කරමින්. ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සිදුකළ යුදමය මැදිහත්වීම් නිමාවූ බවයි පෙන්ටගනය නිල වශයෙන් ප්‍රකාශ කළේ. 

සිය මුදා ගැනීමේ මෙහෙයුම් නිමා කරමින් ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළින් ඊයේ පස්වරුවේ අවසන්වරට පිටව ගොස් තිබුණේ අමෙරිකානු හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයක්. 

සිය මෙහෙයුම් අගෝස්තු 31 වනදායින් අවසන් කරන බවට අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. 

ඒ අනුව ඇෆ්ගනිස්තාන වේලාවෙන් ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට මිනිත්තුවකට පමණ පෙර එම යානය කාබුල් ගුවන් තොටුපළින් පිටව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

සිය මුදාගැනීමේ මෙහෙයුම්වලදී සිවිල් වැසියන් එක් ලක්ෂ 23,000 ක් ආරක්ෂිතව ඇෆ්ගනිස්තානයෙන් පිට කළ බව ද අමෙරිකාව නිවේදනය කළා. 

ඒ සමග ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි සියලුම විදේශීය හමුදා සාමාජිකයින් මේවනවිට එරටින් පිටව ගොස් තිබෙනවා. 

අවසන්වරට අමෙරිකානු හමුදාවත් පිටවයාම හමුවේ කාබුල් ගුවන් තොටුපළ සම්පූර්ණයෙන් ආක්‍රමණය කල තලෙයිබාන් සංවිධානය සිය සතුට පළ කර තිබුණේ ගුවනට වෙඩි ප්‍රහාර එල්ල කරමින්. 

ඒ අනුව ඇෆ්ගනිස්තානයේ සම්පූර්ණ බලය මේවනවිට පවතින්නේ තලෙයිබාන් සංවිධානය යටතේයි.