Monday, April 29, 2024

General line - 0115112241

ඇමෙරිකානු ජනාධිපති එරට ඉතිහාසය අලුත් කරයි 




වසර 20 ක් පුරා පැවති ඇෆ්ගනිස්තාන යුද්ධය නිමා කළ බව ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. 

ඒ, ඇෆ්ගනිස්තානයේ සිටි අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමෙන් පසු ධවල මන්දිරයේ සිට ජාතිය අමතමින්. 

ඇෆ්ගනිස්තානයේ සිටි අමෙරිකානුවන්ට අමතරව එක් ලක්ෂ 20,000 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා එරටින් ඉවත් කර ගැනීම ඉතිහාසයේ සුවිශේෂී ක්‍රියාවක් වන බවයි අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. අමෙරිකාවට සදාකාලික යුද්ධයක පැටලීමේ අවශ්‍යතාවයක් නොමැති බවද ජනාධිපති බයිඩ්න් එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සිය මුදා ගැනීමේ මෙහෙයුම් නිමා කරමින් ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපළින් ඊයේ පස්වරුවේ අවසන්වරට පිටව ගොස් තිබුණේ අමෙරිකානු හමුදාවට අයත් සී 17 වර්ගයේ ගුවන් යානයක්. 

සිය මෙහෙයුම් අගෝස්තු 31 වනදායින් අවසන් කරන බවට අමෙරිකාව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. 

ඒ අනුව ඇෆ්ගනිස්තාන වේලාවෙන් පෙරේදා මධ්‍යම රාත්‍රී 12 ට මිනිත්තුවකට පමණ පෙර එම යානය කාබුල් ගුවන් තොටුපළින් පිටව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

සිය මුදාගැනීමේ මෙහෙයුම්වලදී සිවිල් වැසියන් එක් ලක්ෂ 23,000 ක් ආරක්ෂිතව ඇෆ්ගනිස්තානයෙන් පිට කළ බව ද අමෙරිකාව නිවේදනය කළා. 

අවසන් හමුදා සාමාජිකයා ලෙස ඇෆ්ගන් භූමියෙන් අමෙරිකානු ගුවන් යානයට ගොඩ වුණේ මේජර් ජෙනරාල් ක්‍රිස් ඩොනහු වන අතර ඔහු සමඟ ඇෆ්ගනිස්තානයේ අමෙරිකානු තානාපති රොස් විල්සන් ද සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.