Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීමට තලෙයිබාන් සංවිධානය ප්‍රහාර එල්ල කරයි 




ඇෆ්ගනිස්තානයේ පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීම සඳහා තලෙයිබාන් සංවිධානය තවදුරටත් දරුණු ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. 

දරුණු ගැටුම්වලින් තොරව දින 04 කින් පමණ ඇෆ්ගනිස්තානය අල්ලා ගත් තලෙයිබාන් සංවිධානයට, ජන්ජ්ෂීර් නිම්නය අල්ලා ගැනීමට ප්‍රබල වෙහෙසක් දැරීමට සිදුව ඇති බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ. 

පන්ජ්ෂීර් නිම්නයේ බලය පවතින ජාතික ප්‍රතිරෝධී පෙරමුණ සිය බලය තවදුරටත් පවත්වා ගැනීම සඳහා ප්‍රබලක සටනක නිරත වී සිටින බවද විචාරකයින් පෙන්වා දෙනවා.  

මේ අතර ඇෆ්ගනිස්තානය, තලෙයිබාන් සංවිධානයට නතුවීමත් සමග පළාගිය ඇතැම් හමුදා සාමාජිකයින් පන්ජ්ෂීර් නිම්නයට පළාගිය බවත්, ඔවුන් හමුදාව සතුව තිබූ යුද්ධ උපකරණ රැගෙන ගොස් ජාතික ප්‍රතිරෝධී පෙරමුණේ මසූද් පාලනය සමග එක්වූ බවත් වාර්තා පළවනවා. 

එහෙත්, එලෙස රැගෙන ගිය යුද උපකරණ මොනවාද, මසූද් හිතවාදීන්, තලෙයිබාන් සංවිධානයට එරෙහිව එම යුද උපකරණ භාවිත කළේ ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ. 

මේ අතර ගිරි දුර්ග පසුකරමින් පන්ජ්ෂීර් නිම්නය අත්පත් කර ගැනීමට උත්සහ දරණ තලෙයිබාන් සටන්කාමීන් සිය මියයන සටන්කාමීන් වෙනුවට සාමාන්‍ය වැසියන් ගැටුම් සඳහා යොදා ගන්නා බවටයි ඇතැම් වාර්තා පළවන්නේ. 

මේ හේතුවෙන් පෂ්ජ්ෂීර් නිම්නය අවට ගම්වල වැසියන් දිවිබේරා ගැනීමට සිය ගම්බිම් අතහැර පළා යමින් සිටිනවා. එම වැසියන් පවසන්නේ දෙපාර්ශවයේම ගැටුමවලට මැදිව සිටින තමන් පළා නොගිය හොත් යුද්ධයෙන් හෝ කුසගින්නේ මිය යනු ඇති බවයි.