Monday, April 29, 2024

General line - 0115112241

එළවළු තොග මිල පහත වැටෙයි - යාපනයේ මිදි කිලෝවක් රු 200 බහියි




දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේදීත් විවෘතව පවතිනවා. 

එම මධ්‍යස්ථානවලට ගොවීන් එළවළු තොග රැගෙන ආවත් එළවළු තොග මිල පහත වැටී ඇති බවයි වෙළෙඳුන් පවසන්නේ. 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද අලුයම 04 ට විවෘත වීමත් සමග ගොවීන්ගෙන් එළවළු තොග එම මධ්‍යස්ථානයට ලැබී තිබුණා. 

කෙසේවෙතත් ගොවීන්ගේ පැමිණීම අද අඩුමට්ටමක පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පෙරේදා දිනට සාපේක්ෂව එළවළු තොග මිල සියයට 40 කින් පමණ පහත වැටී ඇති බව හා තොග මිලදි ගැනීමට වෙළෙන්දන්ගේ පැමිණීමේ ද අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ. 

යාපනය ප්‍රදේශයේ වගා කරන පළතුරු හා රතුළුූණු අස්වනු විශාල වශයෙන් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබී තිබෙනවා. 

ඒ අනුව යාපනයේ මිදි කිලෝවක් රුපියල් 200 ක් වැනි අඩු මිලකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී අලෙවි වන බවයි නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර ආරියදාස පැවසුවේ. 

මේ අතර මැනිං වෙළඳපළේ එළවළු තොග මිල ද අද පහත වැටී තිබුණා. 

එළවළු මිලදි ගැනීම සඳහා වෙළන්දන්ගේ පැමිණීමේ අඩුවක් ද දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

එළවළු තොග මිල පහත වැටී තිබුණත් ආර්ථික තත්ත්වය මත පුද්ගලයින්ගේ මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් ඇති බැවින් එළවළු තොග අලෙවි වීමේ අඩුවක් පවතින බවයි මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන පැවසුවේ. 

මේ අතර බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයට ද අද දිනයේදී එළවළු තොග ප්‍රමාණවත් පරිදි ලැබී තිබෙනවා. 

කෙසේවෙතත්, එම තොග මිලදී ගැනීමට පැමිණෙන වෙළඳුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික සමිතියේ ලේකම් අජිත් ලියනගේ පැවසුවේ.