Monday, April 29, 2024

General line - 0115112241

සුනිල් පෙරේරාගේ අභාවය බිබීසී ලෝක සේවයත් වාර්තා කරයි -  පාර්ශව රැසක ශෝකය




මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ශව රැසක් සිය ශෝකය පළ කර තිබෙනවා. 

ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ කණ්ඩායම් සංගීතයේ නව පෙරළියක් ඇති කරමින්, අදටත් එක සේ ජනප්‍රිය ගීත රැසක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට දායාද කළ සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳව සංවේගය ප්‍රකාශ කරන බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා. 

අග්‍රාමාත්‍යවරයා පවසන්නේ මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි ප්‍රබල භූමිකාවක් නිරූපනය කළ ඔහු තමන් විශ්වාස කරන අදහස් උදහස් වෙනුවෙන් පෙනී සිටීමට ද කිසි විටක පසුබට නොවූ බවයි. මෙරට ප්‍රාසාංගික වේදිකාවට සුනිල් පෙරේරා නොමැති අඩුව තදින්ම දැනෙනු ඇති බවද අග්‍රාමාත්‍යවරයාගේ ෆේස්බුක් සටහනේ සඳහන්. 

මේ අතර සුනිල් පෙරේරා මහතා අද අලුයම අභාවප්‍රාපත් වූයේ නිව්මෝනියා රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි. 

මීට පෙර අවස්ථාවකදීද කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් අසාධ්‍ය වූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අතුළත් කර තිබුණා. 

මියයන විට සුනිල් පෙරේරා මහතා 68 හැවිරිදි වියේ පසු වුණා. දරුවන් සිවුදෙනෙකුගේ පියෙකු වූ ඒ මහතා මෙරට ප්‍රසංග වේදිකාවේ ජනතාව අතර ආදරයට පාත්‍ර වූ සුවිශේෂී ගායන ශිල්පියෙක්. සිංඤෝරේ, ඕයේ ඔජායේ, පිටි කොටපන් නෝනේ, කුරුමිට්ටෝ, ලුණුදෙහි, තාත්තා මට ඇනපු ටොක්ක මෙන්ම මෑතකදී නිර්මාණය කෙරුණු කොත්තමල්ලි යන ගීත සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් කණ්ඩායම විසින් නිර්මාණය වූ ජනප්‍රිය ගීත නිර්මාණ කිහිපයක්.

සුනිල් පෙරේරාගේ වියෝව මෙරට සංගීත ක්ෂේත්‍රයට කිසිදා පිරිමැසිය නොහැකි පාඩුවක් බවයි ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක පැවසුවේ. 

ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ අභාවය වෙනුවෙන් සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර අද පාර්ලිමේන්තුවේදී මෙලෙස සිය පක්ෂයේ ශෝකය පළ කළා.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ අභාවය පිළිබඳ බීබීසී පුවත් සේවය ද අද වාර්තා කර තිබුණා.