Wednesday, May 8, 2024

General line - 0115112241

ඇෆ්ගන් දරුවෝ කුසගින්නේ මියයයි




පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ නිසි ආහාර සහ පානීය ජලය නොමැතිව ඇෆ්ගනිස්තානයේ දරුවන් කුසගින්නේ මියයමින් සිටින බව අන්තර්ජාතික සහන කණ්ඩායම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට ගෝර් පළාතේ පමණක් මන්දපෝෂණය හේතුවෙන් ළමුන් 300 ක් පමණ රෝහල් ගත කර ඇති බවත් ඉන් 17 දෙනෙකු මියගිය බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මුල්ලා මොහොමඩ් අහමදි සදහන් කළා.

ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ රෝහල් ගත නොකළ මන්දපෝෂණය වැළදුණු ළමුන් සහ ඉන් මියගිය ළමුන් සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවයි.

පසුගිය කාලසීමාව පුරා පැවති ගැටුම් සහ පසුව පැමිණි තලේබාන් පාලනයේ අස්ථාවර ස්වභාවය හේතුවෙන් මේ වන විට ඇෆ්ගනිස්ථානය පුරා දැවැන්ත මානුෂීය අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආහාර, පානීය ජලය වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පවා එරට සාමාන්‍ය වැසියන්ට ඉතා දුෂ්කර වී ඇති බවයි.

මේ පසුබිම තුළ කුඩා දරැවන් සහ මහලු තැනැත්තන් මහත් දුෂ්කරතාවයකට ලක්ව සිටින අතර රැකවරණය සැපයීමට ඇති නොහැකියාව හේතුවෙන් කුඩා දරැවන් විකිණීමේ සිදුවීම් පවා වාර්තා වී තිබෙනවා.

මේ අතර ඇෆ්ගනිස්තානයේ විදුලි සැපයුම ද සම්පූර්ණයෙන්ම බිදවැටීමේ තර්ජනයකට ලක්ව තිබෙනවා.

ඒ එරටට අවශ්‍ය  විදුලියෙන් වැඩි ප්‍රමාණයක් සපයනු ලබන තජිකිස්තානය, උස්බෙකිස්තානය, ටර්ක්මේනිස්තානය සහ ඉරානය වෙත ඒ වෙනුවෙන් ගෙවීමට ඇති ඩොලර් මිලියන 55 ක පමණ මුදලක් නොගෙවීම හේතුවෙන්.

මෙම තත්වය තුළ එළඹෙන ශීත කාලයේදී ඇෆ්ගනිස්තානයේ දැනට පවතින මානුෂීය අර්බුදය තවදුරටත් දරැණු වනු ඇති බවට වාර්තා පළවී තිබෙනවා.