Monday, April 29, 2024

General line - 0115112241

කොළඹ පාසැල් සිසුන් 24,000ක් එන්නත් කිරීමට අද සිට




පාසැල් යන දරුවන් එන්නත් කිරීමේ තවත් ප්‍රධඡාන වැඩසටහනක් අද ආරම්භ වනවා. ඒ, කොළඹ දිස්ත්‍රික්කයෙන්. එහිදී වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් සඳහා ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමට නියමිතයි. 

මෙහිදී කොළඹ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 4කට අයත් පාසල් දරුවන් වෙත එන්නත ලබාදීම සිදුකිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ, සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන්. මෙම වැඩසටහන පෙරවරු 8 යි 30 සිට පස්වරු 3 යි 30 දක්වා ක්‍රියාත්මකයි. ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 18 හා 19 වයස් කාණ්ඩයේ පාසල් දරුවන් 24,000කට ෆයිසර් එන්නත ලබාදීමටයි මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙම වැඩසටහනට ඇති සූදානම පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී ලාල් නෝනිස්ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු පැවසුවේ එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලබාඇති සිසුන්ට මේ වන විටත් ඒ පිළිබඳ දැනුම් දී ඇති බවයි.

එන්නත ලබාගැනීමට පැමිණෙන දරුවන් සම්පූර්ණ කළ යුතු කොන්දේසි තිබේද ?

මෙම වැඩසටහන යටතේ කොළඹ අධ්‍යාපන කලාපය සඳහා පාසල් 4ක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වනවා. ඒ, කොළඹ විශාඛා, තර්ස්ටන්, සාන්ත බෙනඩික් සහ විවේකානන්ද විද්‍යාල තුළයි. එහිදී සාන්ත බෙනඩික් විද්‍යාලයට පැමිණිය යුත්තේ සාන්ත බෙනඩික් විද්‍යාලය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය, යහපත් එඩේරාගේ කන්‍යාරාමය - දෙමළ මාධ්‍ය හා කුමාර කණිෂ්ඨ විද්‍යාලය යන පාසැල්වල දරුවන්.

විවේකානන්ද විද්‍යාලයට පැමිණිය යුත්තේ කනපති විද්‍යාලය, වුල්ෆැන්ඩල් බාලිකා මහා විද්‍යාලය, විවේකානන්ද විද්‍යාලය, අල් හකීම් විද්‍යාලය සහ මැද කොළඹ හින්දු විද්‍යාලය යන පාසැල්වල සිසුන් වනවා. කොළඹ විශාඛා සහ තර්ස්ටන් විද්‍යාලවල එන්නත්කරණය සිදුකෙරෙන්නේ එම පාසල්වල සිසු සිසුවියන් සඳහා පමණයි.

මීට අමතරව හෝමාගම කලාපයේ පාසල් 6ක ද, පිළියන්දල කලාපයේ පාසල් 7ක දශ්‍රී ජයවර්ධනපුර කලාපයේ පාසල් 4 කද එන්නත්කරණ වැඩසටහන අද දිනයේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව හෝමාගම කලාපයේ, හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය, පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලය, දීපංගොඩ මහා විද්‍යාලය, පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලය, සීතාවක මධ්‍ය මහා විද්‍යාලය සහ මායාදුන්න මහා විද්‍යාලයේදී එන්නත්කරණය සිදුවනවා.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය, කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය, බොරලැස්ගමුව මහා විද්‍යාලය යන පාසැල්වලදී එම විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා පමණක් එන්නත්කරණය ක්‍රියාත්මකයි.

මොරටු මහා විද්‍යාලයේදී මෙතෝදිස්ත උසස් විද්‍යාලය, අර්ෆත් මුස්ලිම් විද්‍යාලය සහ ශ්‍රී සුනන්දෝපානන්ද මහා විද්‍යාලය යන පාසැල්වල දරුවන්ට එන්නත් කිරීම සිදුවනවා. ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී එන්නත්කරණය සිදුවන්නේ එස් ද එස් ජයසිංහ විද්‍යාලය, ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලය, නුගේගොඩ දෙමළ මහා විද්‍යාලය සහ ඇලීතියා විද්‍යාලයේ දරුවන්ටයි. 

දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයට පැමිණිය යුත්තේ ශ්‍රාස්ත්‍රානන්ද විද්‍යාලය සහ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයේ දරුවන් වනවා. ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ එන්නත්කරණ වැඩසටහන යටතේ මාලබේ රාහුල බාලිකා විද්‍යාලය, මහරගම මධ්‍ය මහා විද්‍යාලය, අංගොඩ රාහුල විද්‍යාලය සහ නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ දරුවන්ට එන්නත් කිරීම සිදු කිරීමට නියමිතයි.