Sunday, November 3, 2024

General line - 0115112241

සිසුන්ගේ හා ගුරුවරුන්ගේ අඩුවක් - පාසල් පැමිණි අයට උණුසුම් පිළිගැනීමක්




සිසුන් 200 ට අඩු පාසල් මාස 6 කට පසු අද විවෘත කෙරුණා. ඒ, පාසල් යාමේ අපේක්‍ෂාවෙන් සිටි සුවහසක් දරුවන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින්.

කෙසේවෙතත් අද විවෘත කෙරුණු බොහෝ පාසල්වලට සිසු දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ පැමිණීමේද යම් අඩුවක් දක්නට ලැබුණා.

ඇතැම් ප්‍රාථමික ශ්‍රේණිවලට එක් දරුවෙකු පමණක් පැමිණි පාසල් ද ඒ අතරට අයත්. නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ බොහෝ පාසල් අවට පොලිස් ආරක්‍ෂාවක් ද දක්නට ලැබුණු බවයි.

කෙසේවෙතත් අද පාසල් වෙත පැමිණි දරුවන් සහ ගුරුවරුන් පිළිගැනීම සදහා විශේෂ උත්සවද සංවිධාන කර තිබුණා. වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබියදී පාසල් වෙත පැමිණි ගුරුවරුන් ඉතා හරසරින් පිළිගනු ලැබුවේ මව්පියන් විසින්.

එමෙන්ම පාසල්වල ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන්ටද දරුවන් මෙන්ම මව්පියන්ද සිය ආදරය සහ  ආචාරය දක්වනු මෙහිදී දක්නට ලැබුණු තවත් සුවිශේෂි කරුණක්.

ගුරුවරුන් පාසලට පැමිණ නොසිටි බැවින් පාසලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට දෙපා වැද  දරුවන් පාසලට පැමිණි අයුරු දැක ගැනීමට හැකි වුණා.

මේ අතර දඹුල්ල තිත්තිත්තවැල්ල කණිෂ්ඨ විද්යාැලයේ දරුවන් පාසැලට පැමිණෙද්දී එහි ගුරුවරුන් කිසිවකු පාසැලට නොපැමිණි සිටි බැවින් සෑම කාමරයක්ම ඉබි යතුරු දමා ගුරුවරුන් විසින් වසා දමා තිබූ සිද්ධියක්ද මේ අතරතුර වාර්තා වනවා.

එබැවින් පාසල් පැමිණි දරුවන්ට අද සිදුවූයේ ගස් සෙවණේ රැදී සිටීමටයි. ඇතැම් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වට්ස්ඇප් සමුහ හරහා, දරුවන් පාසල් නොඑවන ලෙසට මව්පියන් දැනුවත් කර ඇති බවටද වාර්තා පළ වනවා.

මාතලේ කලාපයේ පාසල් බහුතරයක සිසුන් මෙන්ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් රාජකාරි සදහා වාර්තා කර නොතිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඇතැම් පාසල්වලට උපාධිධාරි අභ්‍යාසලාභීන් කිහිපදෙනෙකු සේවයට වාර්තා කර තිබූ අයුරුද මේ අතරතුර දක්නට ලැබුණා.

මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා විජයන්ති ජයසුරිය පැවසුවේ විදුහල්පතිවරුන් හා ගුරුභතුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණද මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් 66න් පාසල් බහුතරයක් අද ආරම්භ කළ බවයි.

නැගෙනහිර පළාතේ මඩකලපුව, අම්පාර,  ත්‍රිකුණාමලය  යන දිස්ත්‍රික්කවල  පාසල් 588ක් අද දින විවෘත කිරීමටයි කර තිබුණේ. මඩකලපුව අධ්‍යාපන කලාපයේ පාසල් 36 ක් විවෘත කල බව කලාප අධ්‍යක්ෂිකා සුජාතා  කුලේන්ද්‍රන් පැවසුවා.

හම්බන්තොට අධ්‍යාපන කලාපයට අයත් පාසල්වලටද සිසුන් කිහිප දෙනෙකු මෙන්ම ගුරුවරුන් හා  අභ්‍යාසලාභීන් ද පැමිණ සිටිනු දක්නට ලැබුණා.

ළමුන් දෙසියට අඩු පාසල් අද දිනයේ විවෘත කෙරුණද උතුරු මැද පළාතේ පොළොන්නරුව අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල අද දිනයේදී ළමුන් පැමිණීම අඩුවක් දක්නට ලැබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ. ගාල්ල අධ්‍යාපන කලාපයේ ද දක්නට ලැබුණේ මීට සමාන තත්ත්වයක්.

විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සැලකිය යුතු පිරිසක් පාසල් වෙත වාර්තා නොකරද්දී අභ්‍යාසලාභී උපාධිධාරීන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසල් වෙත පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ, බලපිටිය ප්‍රදේශයේ තත්ත්වය පිළිබද වාර්තාවක් ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු දීපාල් ද සිල්වා.

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වතු පාසල් කිහිපයක්ද අද විවෘත කෙරුණත් පාසල් වෙත පැමිණි විදුහල්පතිවරුන්ද අත්සන් ලේඛණය අත්සන් නොකර පාසලට පැමිණ ළමුන් ආරක්ෂිතව නිවාස කරා යැවිමට කටයුතු කරනු දක්නට ලැබුණා.