Sunday, November 3, 2024

General line - 0115112241

යුගදනවි ගිවිසුමට එරෙහිව සජිත් පිල ශ්‍රේෂ්ඨාධිකරණයට




කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් අමෙරිකානු සමාගමක් වෙත ගිවිසුම්ගතව පවරාදීමට ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගය විසින්. එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, යුගදනවි බලාගාරය හිමි වෙස්ට් කොස්ට් පවර් ප්‍රයිවට් ලිමිටඩ්, එම සමාගමේ කොටස් පවරනු ලැබූ ඇමරිකානු සමාගම වන නිව් ෆෝට්රස් එනර්ජි සමාගම, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ කෙරවලපිටිය යුගදනවි බලාගාරය අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස්වලින් සියයට 40 ක් අදාළ අමෙරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය යුක්ති සහගත නොවන බවයි.

එවැනි තීරණයක් ගැනීමට පෙර ජාතික ආර්ථිකය හා ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරය අදාළ අමෙරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බවත් එම කොටස් පැවරීමේ දී විධිමත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නොමැති බවත් එහි සදහන්.

මේ අතර යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට සහ ගෑස් එකාධිකාරය එම සමාගම වෙත පැවරීම අභියෝගයට ලක් කරමින් තවත් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණා.