Sunday, November 3, 2024

General line - 0115112241

රටට තොරතුරු හෙළි කරන නෙත් නිවුස් මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සැරසෙයි




නෙත් නිවුස් මගින් අනාවරණ කළ ප්‍රවෘත්තියකට අදාළ මූලාශ්‍ර සොයා ගැනීම සදහා පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

 ඊට අදාළව තොරතුරු ලබාදුන් නෙත් නිවුස් මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමට සූදානම් වී ඇත්තේ ඒ අනුවයි. 

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් තොරතුරු එක්රැස් කරන අයෙකු පිළිබඳ නෙත් නිවුස් ඉකුත් සදුදා  අනාවරණ කළා. රවිදු කල්හාර නමැති එම පුද්ගලයා, තමන් බුද්ධි අංශ නිලධාරියෙකු ලෙස හදුන්වා දෙමින් විවිධ පුද්ගලයින්ගේ තොරතුරු සහ පැමිණිලි එක්රැස් කර ඇති බවටයි එහිදී හෙළි කළේ. 

පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන ගොස් තිබුණා. 

නෙත් නිවුස් කළ ගවේෂණයේදී වැඩිදුරටත් හෙළි වුණේ “පොලිස්පතිට කියමු” නමින් ද ෆේස්බුක් පිටුවක් ඔහු විසින් නිර්මාණය කර ඇති බවයි.

මේ පිළිබද තොරතුරු අනාවරණ කිරීමෙන් පසු පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. ඊට අදාළව තොරතුරු ගවේෂණය කළ නෙත් නිවුස් මාධ්‍යවේදීන්ට දුරකතන ඇමතුම් ලබාදෙමින් පොලීසිය පවසා ඇත්තේ මේ පිළිබද ප්‍රශ්න කිරීම සදහා පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණෙන ලෙසයි. 

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. ඒ අනුව කළුතර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න උපදෙස් දී ඇත්තේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙසයි.

රටට තොරතුරු හෙළි කරන මාධ්‍යවේදීන්ගෙන් පොලීසිය ප්‍රශ්න කරන, මෑතකදී වාර්තා වූ දෙවන සිද්ධිය මෙයයි. මීට පෙර සුදුළුෑනු වංචාව සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ මාධ්‍යවේදීන්ගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට සූදානම් වුණා. ඒ අවස්ථාවේදීද අග්‍රාමාත්‍යවරයා පොලීසියට උපදෙස් ලබාදී තිබුණේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙසයි. 

මේ අතර රවිදු කල්හාර නමැති මෙම ෆේස්බුක් ගිණුම් නිර්මාණය කළ පුද්ගලයා ඊයේ දිනයේ පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට කැඳවා තිබෙනවා. එහිදී පානදුර පොලිස් අධිකාරිවරයා ඔහුගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති අතර ඉන් පසුවයි පොලිසීය විසින් එම සිද්ධිය හෙළි කළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වී ඇත්තේ. 

මෙවැනි සිද්ධියක් සිදුවන බවට කළුතර නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න පවා දැනුවත් වූයේ නෙත් නිවුස් ඒ පිළිබද ඔහුව දැනුවත් කිරීමෙන් පසුවයි.

නිවැරදි තොරතුරු ගවේෂණය කර රටට ඒ පිළිබද අනාවරණ කිරීම මාධ්‍යවේදීන් එදා සිටම සිදුකරන කාර්යයි. එවැනි මාධ්‍යවේදීන් මෙලෙස ප්‍රශ්න කිරීමට ලක් කිරීම කෙතරම් යුක්ති සහගතදැයි බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නයයි.

මහජනතාව නොමග යවමින් "පොලිස්පතිවරයාට කියමු" යනුවෙන් පවත්වාගෙන යන ෆේස්බුක් ගිණුම පහතින් දැක්වේ..