Saturday, November 2, 2024

General line - 0115112241

අද සිට රට තුළ ඉන්ධනවලට මිල දෙකක්




අද සිට රට තුළ ඉන්ධන සඳහා මිල දෙකක් ක්‍රියාත්මක වනවා ඒ, ඉන්දීය ඔයිල් සමාගම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්. පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමටයි පියවර ගෙන ඇත්තේ. 

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්්‍රල් ලීටරයක නව මිල අද සිට රුපියල් 162 ක්. ඩීසල් ලීටරයක් අද සිට අලෙවි වන්නේ රුපියල් 116 කටයි. 

කෙසේ වුවත් සුපර් ඩීසල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල ඉහළ නොදැමීමටයි ඉන්දීය ඔයිල් සමාගම තීරණය කර ඇත්තේ. 

ඉන්ධන මිල ඉහළ දමන බවට වාර්තා පළවීමත් සමඟ ඊයේ රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝළිම් දක්නට ලැබුණා. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් සහ බලශක්ති අමාත්‍යංශයෙන් විමසීමක් කළා. 

මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉන්දීය ඔයිල් සමාගම කිසිදු පූර්ව දැනුම්දීමක් සිදු කර නොතිබූ බවයි. 

කෙසේවෙතත් එම සමාගමට සිය නිෂ්පාදනවල මිල ගණන් වැඩිකිරීමට ඕනෑම අවස්ථාවක ඉඩ ඇති බවයි මුදල් අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යංශය පැවසුවේ. 

බලශක්ති අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දීය ඔයිල් සමාගම මීට පෙර ද මෙලෙස ඒකපාර්ශවීයව ඉන්ධන මිල වැඩි කර ඇති බවයි.

ඉන්දීය ඔයිල් සමාගම මෙලෙස ඉන්ධන මිල ඉහළ දමන්නේ ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවද ඉල්ලීමක් කර ඇති පසුබිමකයි. 

ඊට සමගාමීව ඉන්දීය ඔයිල් සමාගම ද ඉකුත් දා පැවසුවේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් පමණ ඉහළ දැමිය යුතු බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට සිය තීරණය අඩියක් පිටුපසට ගැනීමට සිදු වූයේ මේ මොහොතේ ඉන්ධන මිල වැඩි නොකරන බවට ආණ්ඩුව තීරණයක් ගැනීම හේතුවෙන්. 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පැවසුවේ ඉන්ධන මිල වැඩි කිරීමට මේ මොටෙහාතේ තීරණයක් ගෙන නැතත් ඒ වෙනුවෙන් සහන ලබාදීමක් හෝ සිදුවනු ඇති බවයි.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන්නේ රුපියල් 157 කටයි. 

ඩීසල් ලීටරයක මිල රුපියල් 111 ක්.