Saturday, November 2, 2024

General line - 0115112241

LIOC මිල වැඩි කළා : සංස්ථාව ඉන්ධන මිල වැඩි කරනවාද ? ඇමති ගම්මන්පිල උත්තර දෙයි




ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට ඩිසල් ලීටරයකින් රුපියල් 38කින් සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 22ක පාඩුවක් සංස්ථාව ලබමින් පවතින බවත්, ඉන්දීය ඔයිල් සමාගම පෙට්ට්‍රල් සහ ඩිසල් ලීටරයක මිල ඊයේ රාත්‍රියේ සිට රුපියල් 5කින් ඉහළ දැමුවත්, මෙරට ඉන්ධන බෙදාහැරීමේ සීයයට 85ක අධිකාරියක් හිමි ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන මිල ඉහළ දැමීම සඳහා මේ දක්වා කිසිදු අදහසක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.

ඔහු සඳහන් කලේ ඉන්ධන මිල ඉහළ දැමීමට සුදානමක් ඇති බවත් ඉන්ධන හිඟයක් ඇතිවෙන බවට විවිධ පාර්ශ්ව විසින් සිදුකරනු ලබන ප්‍රකාශයන් හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ.

ඉන්ධන මිල ඉහළ දැමීමට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවත්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් ඉල්ලා ඇති බව පැවසූ ඇමතිවරයා, රටේ ජනතාව ඉතා අමාරුවෙන් ජිවත් වෙන පසුබිමක ඉන්ධන මිල වැඩි නොකර පවතින අමාරුකම හැකි තරම් දරා ගැනීමට පියවර ගන්නා බවයි අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටියේ.

මේ වන විට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බවත් ඔමානයෙන් ද ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ණයක් ඉල්ලුම් කොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි ඔහු කියා සිටියේ.

මේ මාසයේදී ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් මහ බැංකු අධිපතිවරයා විසින් ලබාදීමට පොරොන්දුවී ඇති බවයි අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටියේ.