Friday, May 3, 2024

General line - 0115112241

රටවල් රැසක කලු දිනයක් ලෙස සැමරෑ කාශ්මීර ආක්‍රමණයේ 74 වන සංවත්සරය




 

ඔක්තෝබර් 22 වනදා ලෝකයේ රටවල් රැසක දී එකම තේමාවක් යටතේ විරෝධතා ව්‍යාපාර ගණනාවක් පැවැත්විණ.

පකිස්තානය යටතේ පවතින අසාද් කාශ්මීරයේ, ඉන්දියාවේ පාලනය යටතේ පවතින ජම්මු කාශ්මීරයේ , බංගලාදේශයේ ඩකා අගනුවර වැනි දකුණු ආසියානු කලාපයේ ප්‍රදේශ ගණනාවක දී  මෙන්ම නෙදර්ලන්තයේ හේග් නුවර වැනි යුරෝපාකරයේ ද මෙම විරෝධතාවයන් පැවැත්විණ.

පොදුවේ ගත්කළ එහිදී විරෝධය පළ කෙරැණේ මීට වසර 74 කට පෙර එනම් 1947 ඔක්තෝබර් 22 වනදා පකිස්තානයේ අනුග්‍රහය ලැබූ ගෝත්‍රික පතන්වරැ විසින් කාශ්මීරය ආක්‍රමණය කිරීමටයි.

මෙම ආක්‍රමණය පිළිබදව අවධානය යොමු කිරීමට ප්‍රථම ජම්මු සහ කාශ්මීරය යනු කුමක්දැයි අවබෝධ කර ගැනීම වැදගත් වේ. බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා වෙළෙද සමාගම සහ සීක් අධිරාජ්‍යය අතර 1845-1846 අතර කාලසීමාවේ පැවති යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස 1846 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පාලනය යටතේ වන ජම්මු සහ කාශ්මීර කුමාර රාජ්‍යය  නිර්මාණය කරනු ලැබිණ.

ඒ අනුව ,1947 අගෝස්තු 15 වනදා, ඉන්දියාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගන්නා විට ජම්මු සහ කාශ්මීරය යනු බ්‍රිතාන්‍යයන්ට අවනතව එහෙත් ස්වාධීනව බ්‍රිතාන්‍ය ඉන්දියාව තුළ පැවති කුමාර රාජධානි 565න් එකක් විය.

නිදහස ලබාදීමට සමගාමීව , බ්‍රිතාන්‍ය ඉන්දියාව බෙදා වෙන් කිරීමේ ක්‍රියාවලියේදී පකිස්තානය ලෙස වෙනම රටක් ඇති කරනු ලැබූ අතර එය නැගෙනහිර පකිස්තානය (වත්මන් පකිස්තානය) සහ බටහිර පකිස්තානය (වත්මන් බංගලිදේශය) ලෙස කොටස් දෙකකින් සමන්විත විය.

එහිදී කුමාර රාජධානිවල පැවැත්ම පිළිබද ප්‍රශ්නයක් මතුවූ අතර වැඩි වශයෙන් ඉන්දියාව තුළ පැවති කුමාර රාජධානිවලට ස්වාධීනව සිටීමට හෝ ඉන්දියාවේ කොටසක් බවට පත්වීමට අවස්ථාව ලබා දී තිබිණ.

මෙහිදී ඇතැම් කුමාර රාජධානිවල පාලකයන් කරන්නේ කුමක්ද යන්න පිළිබදව දෙගිඩියාවෙන් පසුවූ අතර කාශ්මීරයේ පාලකයා වූ මහාරාජා හරී සිං සිටියේ  ද ඉන්දියානු ආධිපත්‍යයට පිවිසීම හෝ ස්වාධීනව හෝ මධ්‍යස්ථව සිටීමට තෝරා ගැනීම සම්බන්ධයෙන් එවැනි දෙගිඩියාවකට පත්වය.

මේ  අතරවාරයේ කාශ්මීරය අල්ලා ගැනීම සදහා විවිධ පාර්ශවවල අවධානය යොමුවෙමින් ඇති බවට ආරංචි පැතිරයමින් තිබිණ. එය යථාර්ථයක් බවට පත් කරමින් අවසානයේ පකිස්තානයේ අනුග්‍රහය ලැබූ පතාන් ග්‍රෝතිකයෝ කාශ්මීරය ආක්‍රමණය කරන්නට පැමිණියහ.  ඒ හරියටම මීට වසර 74 කට පෙර එනම් 1947 ඔක්තෝබර් 22 වනදාය.

සටන්කාමී ජන කොට්ඨාශයක් ලෙස ප්‍රකට පතන්වරැ තුවක්කු , රයිපල් ආදී ගිනිඅවි මෙන්ම සාම්ප්‍රදායික අවිආයුධ වන කඩු පොරව ආදියෙන් සන්නද්ධව කාශ්මීර ආක්‍රමණය සදහා පැමිණියහ. මිටියාවත් ඔස්සේ ට්‍රක් රථවලින් පැමිණි ඔවුහු අනතුරැව පාගමනින් පැමිණ පළමුව කඩාවැදුණේ මුෂාෆර්බාද් ප්‍රදේශයටය.

පතන්වරැන්ගේ මෙම ආක්‍රමණය සිදුවෙද්දී ප්‍රදේශයේ පිහිටි කාශ්මීර පිවිසුම් දොරටුව මුරකරමින් සිටි මහරාජා හරිසිංගේ හමුදාවේ භටයෝ පළගොස් සිටියහ.

කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව කාශ්මීරයට ක‍ඩා වැදුණු පතන්වරැ එහිදී සිදුකළ ආක්‍රමණය ඉතිහාසය තුළ සටහන්ව ඇත්තේ දරැණු සහ අතිශය ම්ලේච්ඡ එකක් ලෙසටය. 

මුෂාෆර්බාදයේ පිහිටි කාශ්මීර  හමුදාවන්ට අයත්ව තිබූ අවි ගබඩාව කොල්ල කෑ ආක්‍රමණිකයෝ අනතුරැව එහි වූ වෙළෙද පොල ගිනිබත් කළේ කොල්ලකා ගත හැකි සියලු දේ කොල්ලකා ගැනීමෙන් අනතුරැවය. තනිකරම ම්ලේච්ඡ ජාතිවාදී මුහුණුවරක් ගත් මෙම ආක්‍රමණයේ දී පතන්වරැ අරාබි භාෂාවෙන් මුස්ලිම් ඇදහිල්ල ප්‍රකාශ කරන කලිමා කියවීමට නොහැකි වූ සෑම අයෙකුටම වෙඩි තැබූහ.

මාර්ග දිගේ මල සිරුරැ විසීරී තිබූ අතර අසලින් ගලා ගිය ගංගාවල ද මළ සිරුරු පාවෙමින් තිබුණේ ජලය රත් පැහැයට හරවමිනි. මුෂාෆර්බාදයේ පිහිටි කාශ්මීර රාජ්‍ය අවි ගබඩාව කොල්ලකෑ ආක්‍රමණිකයෝ වෙළඳපොල ද ගිනිබත් කර ඒවායේ වූ භාණ්ඩ කොල්ල කෑහ. මුස්ලිම් නොවන කාන්තාවන් වහලුන් ලෙස අල්ලා ගත්හ.

පතන්වරැන් විසින් අශ්වයන්, ගවයන් අනෙකුත් සියලු කොල්ල කෑ වස්තුව පොදි බැද ගත්තේ සිය ගම්බිම්බලා රැගෙන ඒම සදහාය.

මුෂාෆර්බාද් ජයගත් පතන්වරැන්ගේ ඊලග ඉලක්කය වූයේ කාශ්මීරයේ අගනුවර වූ ශ්‍රී නගර් අල්ලා ගැනීමය. එහිදී ද ඔවුන්ට කිසිදු විරෝධයක් එල්ල නොවුණු අතර ඒ වනවිටත් මහරාජා හරිසිංගේ කාශ්මීර හමුදාව බිදී විසීරී ගොස් තිබිණ. මුස්ලිම්වරැන් නොවන අනෙක් සියල්ලන් ද ,ඔවුන්ගේ දේපළ ද විනාශ කරමින් ඉදිරියට ගිය පතන්වරැ සිටියේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වය.

සමස්ත කාශ්මීරයම පකිස්තානයේ කොටසක් බවට පත්වීමේ ලකුණු ඒ වනවිටත් පහළ වී තිබිණ. 
මේ තීරණාත්මක කඩඉම හමුවේ මහරාජා හරිසිංට ගත හැකිව තිබුණේ තීරණ දෙකකි. එක්කෝ පතන් හමුදාවට යටත් වී කාශ්මීරය පකිස්තානයේ කොටසක් බවට පත්වීමට ඉඩ ලබාදිය යුතු විය. එසේ  නොමැති නම්, කාශ්මීරය බේරා  දෙන ලෙස ඉන්දියාවෙන් ඉල්ලීමක් කළ යුතු විය.  

මුස්ලිම්වරැන්ගෙන් මෙන්ම සීක්, හින්දු, වැනි වෙනත් ජාතීන්ගෙන් ද සමන්විත කාශ්මීරය පකිස්තානයේ කොටසක් බවට පත්වීම  ඒ වන විටත් මුස්ලිම්  වි‍රෝධීන් ඉලක්ක කරගත් ආක්‍රමණයක් බවට පත්ව තිබූ කාශ්මීර යුද්ධය සමූලඝාතනයක් බවට පත්වීමේ අවදානමකට යොමුකරවන්නක් විය.

අවසාන‍යේ , ඉන්දියාවේ සහය ඉල්ලා සිටීමට මහරාජා කටයුතු කළ අතර ඊට අදාළ ගිවිසුමක් ද අත්සන් කරනු ලැබිණ. ඒ අනුව කාශ්මීරය ආරක්ෂා කිරීමේ වගකීම ඉන්දියාව භාරගත් අතර එහි අයිතිය පිළිබද තීරණය පසුව ගැනීමට එකඝ විය. 

ගිවිසුම අත්සන් කිරීමත් සමගම ශ්‍රී නගර් බලා ඉදිරියට ඇදෙමින් සිටි පතන්වරැන්ට ඉන්දීය ගුවන් යානා මගින් ‍බෝම්බ හෙළනු ලැබූ අතර එය ඔවුන්ගේ ගමන අඩපණ කිරීමට සමත් විය. මේ අතරවාරයේ,  ගෝත්‍රික සටන්කරුවන්ට මුහුණදීම සදහා ඉන්දියානු සේනාංක ශ්‍රීනගර් වෙත යොමු කිරීම ද සිදුවිය.

මෙතෙක් කලක් තිරය පිටුපස සිට ක්‍රියාකාරීව සිටි පකිස්තානය, පතන්වරැන්ගේ සහයට ශ්‍රීනගර් වෙත විධිමත් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ ද එය සාර්ථක වූයේ නැත. ඊට හේතුව වූයේ  ඒ වනවිටත් විධිමත් ලෙස බෙදී නොසිටි ඉන්දියාවේ සහ පාකිස්තානයේ මිලිටරි භටයින්ගේ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ අණ දෙන නිලධාරින්ගේ විරෝධයයි. 

1947 නොවැම්බර් අවසානය වන විට ඉන්දීය ප්‍රහාර හමුවේ අඩපණව සිටි පතන්වරැ බොහෝ දුරට ආපසු හැරී ගියහ. ගරිල්ලා සටන්වලට මිස මුහුණට මුහුණලා කෙරෙන යුද්ධයන්ට ප්‍රවීනයන් නොවූ පතන්වරැන් එළෙස පසුබැස යද්දී ඉන්දියානු හමුදාව කාශ්මීරයේ පුලුල් ප්‍රදේශයක බලය තහවුරැ කර ගත්තේය. 

මේ සමගම කාශ්මීරය ඉන්දියාව සහ පාකිස්තානය  අතර බෙදීමේ රේඛාවක් නිර්මාණයවීම ද සිදුවිය. මුෂාෆර්බාද් ඇතුළු ප්‍රදේශ කිහිපයක් පකිස්තානය සතු විය.

සෙසු බහුතර ප්‍රදේශ‍යේ ආරක්ෂාව ඉන්දියාව භාරගත් අතර කාශ්මීරයේ පාලනයේ අනාගතය තීරණය කිරීම සඳහා පසුව ජනමත විචාරණයක් පැවැත්වීමට එකගතාවයක් ඇතිවිය.කෙසේවෙතත්, මෙම තීරණය පකිස්තානයේ කෝපයට හේතුවූ අතර ඔවුන් කාශ්මීරයේ බලය අල්ලා ගැනීම සදහා හමුදා මෙහෙයවමින් යුද්ධයක් ආරම්භ කළේය.  

පළමු ඉන්දු පකිස්තාන් යුද්ධය ලෙස ඉතිහාසයට එක්ව ඇති එය නතර වූයේ 1949 ජනවාරි 1 දා එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් සටන් විරාම ගිවිසුමක් අත්සන් තැබීමෙනි. අවසානයේ සිදුවූයේ මහරාජා හරිසිංගේ කාශ්මීර රාජධානියේ උතුරු හා බටහිර කොටස පාකිස්තානය විසින් පාලනය කෙරෙන අසාද් කාශ්මීරය ලෙසටත් අනෙක් කලාපය ඉන්දියාව විසින් පාලනය කෙරෙන ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තය ලෙසත් බෙදී වෙන්වීමය.

මීට වසර 74 කට පමණ පෙර සිදුවුවත් පකිස්තානයේ අනුග්‍රහය ලැබූ පතන් ගෝත්‍රිකයන් විසින් දියත් කළ මෙම කෲර ආක්‍රමණය හරහා ඇවිලුණේ අදට ද නොනිමෙන ගින්නකි. අද වනවිට කාශ්මීර දේශසීමාව ලොව  වඩාත් ආරක්ෂිත මෙන්ම අවදානම් සහගත දේශසීමාවක් බවට පත්ව තිබේ.

ඉන්දියාව කාශ්මීරයේ සිය පාලනය තහවුරැ කර ගැනීම සදහා වැඩපිළිවෙළ රැසක්  දියත් කර ඇති අතර ඒ යටතේ විශේෂ සංවර්ධන සැලසුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. පකිස්තානයේ අනුග්‍රහය ලබන ඇතැම් ත්‍රස්ත සංවිධාන කාශ්මීරය පකිස්තානයේ කොටසක් බවට පත් කර ගැනීම සදහා සටන් වදිමින් සිටිති.

මේ අතර පකිස්තාන පාලන යටතේ පවතින අසාද් කාශ්මීරයේ ජනතාව ඔක්තෝබර් 22 කලු දිනයක් ලෙස සමරමින් තමන්ව යටත් කර ගැනීමට එරෙහිව පකිස්තානයට විරෝධය දක්වති. මේ අනුව පැහැදිළි වන්නේ මීට වසර 74 කට පෙර සිදුවූවත්, පකිස්තානයේ අනුග්‍රහය ලැබූ පතන්වරැන්ගේ ම්ලේච්ඡ ආක්‍රමණය අදට ද බරපතල ප්‍රශ්නයක් ඉතුරැ කර ඇති බවයි.