Saturday, November 2, 2024

General line - 0115112241

රෙජිස්ට්‍රාර් තනතුරත් සමග තවත් තනතුරක් දෙන්න අගමැතිගෙන් යෝජනාවක්




රෙජිස්ට්‍රාර් තනතුර ලබාදීමේදී අධිකරණ අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ඔවුන්ට සාමදාන විනිශ්ච්‍යකාර තනතුර පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, රාජ්‍ය සේවා, පලාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි වෙතයි. දීප ව්‍යාප්ත උප්පැන්න, මරණ සහ විවාහ රෙජිස්ට්‍රාර් සංගමයේ සාමාජිකයින් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

රෙජිස්ට්‍රාර්වරුන්ට පවතින වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක එහිදී කරුණු ඉදිරිපත් කළා. වැටුප් නොමැති දීමනා ලබන රෙජිස්ට්‍රාර්වරුන් වෘත්තිය සේවාවක නිරතව සිටින බවත්, තම වෘත්තිය කටයුතු පවත්වාගෙන යාමට සාමදාන විනිශ්චයකාර තනතුර නොමැති වීම ගැටලුවක් බවයි එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ.

රෙජිස්ට්‍රාර්වරුන්ට ලබාදිය හැකි සුදුසු රක්ෂණ ක්‍රමයක් සම්බන්ධයෙන් සොයාබලන ලෙසත්, උප්පැන්න, මරණ ලියාපදිංචියේදී දැනට හිමිවන රුපියල් 75 ක දීමනාව රුපියල් 150 දක්වා වැඩි කිරීමට සහ කාර්යාල ලිපිද්‍රව්‍ය දීමනාව රුපියල් 500 යේ සිට 750 දක්වා වැඩිකිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.

රෙජිස්ට්‍රාර්වරුන් සේවය අවසන් කිරීමේදී රුපියල් 50,000 සිට රුපියල් ලක්ෂ 05 දක්වා පාරිතෝෂික දීමනාවක් පිරිනැමීම සඳහා 2022 අයවැයට යෝජනා කිරීමටද අග්‍රාමාත්‍යවරයා එහිදී නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.