Sunday, November 24, 2024

General line - 0115112241

කුලියාපිටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව අධිකරණයේ සියලු නීතිඥවරුන් ගත් තීරණය




පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා වෙනුවෙන් කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී අධිකරණයේ සිටි සියලුම නීතිඥවරුන් කුලියාපිටිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා  වෙනුවෙන් නැගී සිටි බවයි වාර්තා වුණේ.

එවන් පසුබිමක් තුළ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා වෙනුවෙන් අදාළ මෝසම ඉදිරිපත් නොකර එම පාර්ශවය අධිකරණයෙන් පිටතට පැමිණ තිබෙනවා. 

සැමියා සමග කලක සිට පැවති පවුල් ආරවුලක් සම්බන්ධයෙන් බිරිඳක් විසින් කුලියාපිටිය ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් අදාළ පැමිණිල්ල කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

අදාළ පැමිණිල්ල විමර්ශනය කිරීම සදහා එම සැමියා සහ අදාළ කාන්තාව කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශය වෙත කැඳවා තිබුණා.

ඉන් අනතුරුව එම විමර්ශන නිසි අයුරින් සිදු නොවුන බවට චෝදනා කරමින් අදාළ කාන්තාව විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා කොට්ඨාස කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණ අදාළ කාන්තාවගේ සැමියාට පහරදි ඇති බවයි වාර්තා වුණේ. 

එම කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් විසින් එම පහරදීම වළක්වා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා.

පසුව පහර කෑමට ලක් වූ අදාළ සැමියා කුරුණෑගල රෝහලට ඇතුළත් වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් කුලියාපිටිය අධිකරණයට ද කරුණු වාර්තා කර තිබෙනවා. 

ඒ අනුව කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය පැවසුවේ.

එවන් පසුබිමක් තුළ කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයා අසනීප නිවාඩු වාර්තා කර ඇති බවයි වාර්තා වුණේ.