Saturday, November 2, 2024

General line - 0115112241

රටින් ගෙන්වන කාබනික පොහොර ගැන තවත් ප්‍රශ්නයක්




විදෙස් රටකින් කාබනික පොහොර ගෙන්වීමේදී එම පොහොරවල පවතින ක්ෂුද්‍ර ජීවීන් සම්බන්ධයෙන් පමණක් නොව ඒවායේ අඩංගු බැර ලෝහ සම්බන්ධයෙන් ද පරීක්ෂාවට ලක් කළ යුතු බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යේෂඨ උපදේශක හේමන්ත විතානගේ පෙන්වා දෙන්නේ චීනයෙන් මෙරටට ගෙන්වීමට නියමිතව තිබූ කාබනික පොහොරවල විශාල වශයෙන් බැර ලෝහ ද අඩංගු විය හැකි බවයි.

ගැටලුවට තුඩු දී ඇති කාබනික පොහොර මෙරටට ගෙන්වීම වැළැක්වීමට නොහැකි වුවහොත් එමගින් ගැටලු රැසක් නිර්මාණය විය හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කලා. ඔහු පෙන්වා දුන්නේ අහිතකර බැක්ටීරියා අඩංගු පොහොර මෙරටට ගෙන්වීමට උත්සහ දැරීම ජාතික ශාඛ නිරෝධායන පනත උල්ලංඝනය කිරීමක් බවයි. 

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ තහවුරු කළේ චීනයේ සිට පැමිණෙන කාබනික පොහොර රැගත් නෞකාව රටට ඇතුළු කර නොගන්නා බවයි. එමෙන්ම එම පොහොර සාම්පල යළි පරීක්‍ෂාවට ලක් කිරීමක් හෝ ඒ වෙනුවෙන් ගෙවීමක් හෝ සිදුනොකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ වී සති දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත් මෙරට පොහොර ප්‍රශ්නයට පිළිගත හැකි විසදුමක් තවමත් ලැබී නොමැති බවටයි ගොවීන් චෝදනා කරන්නේ. ඒ අනුව පොහොර ප්‍රශ්නයට විසදුමක් ඉල්ලා රටපුරා ක්‍රියාත්මක විරෝධතාද මේ වනතෙක් අවසන් වී නැහැ. 

මේ අතරතුර පොහොර ප්‍රශ්නය, කාබනික වගාව ඇතුළු කෘෂිකර්ම ක්‍ෂේත්‍රය මුහුණදී ඇති අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන් ඇතුළු විද්වතුන් 141 දෙනෙකුගේ අත්සනින් යුතුව විශේෂ ලිපියක්ද කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර තිබෙනවා.