වෙළදපොලේ භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ආපන ශාලා සහ හෝටල් හිමියන් අසාධාරණ අයුරින් ආහාර වර්ගවල මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ආහාර වර්ගවල ප්‍රමිතියද අඩු කර ඇති බවටයි පාරිභෝගිකයින්ගෙන් චෝදනා එල්ල වන්නේ.
පිරිවැය අඩු කර ගැනීම සදහා, සාපේක්ෂව අඩු මිලට ඇති සහල් යොදාගැනීම මෙන්ම බත් පැකට්ටුවක ඇති ව්‍යංජන ප්‍රමාණයද අඩු කර ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා. ආපනශාලා සහ හෝටල් හිමියන්ගේ මෙම අසාධාරණ වැඩපිලිවෙල වැළැක්වීමට රජය මැදිහත්විය යුතු බවයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාරිභෝගිකයින් ගසාකෑම වැළැක්වීම සදහා පාරිභෝගික සේවා අධිකාරියට මැදිහත්වී කටයුතු කළ හැකි බවයි.
ඉකුත් සමයේ දැඩි කතාබහක් මතු වූ කිරිපිටි ගැටළුවට මේ වනවිට ක්‍රමයෙන් විසදුම් ලැබෙමින් පවතිද්දී සීනි සම්බන්ධයෙන් වෙළදපොලේ මතු වූ ගැටළුවට මෙතෙක් විසදුම් ලැබී නැහැ.