පාස්කු ප්‍රහාරයට අදාළව තමා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් පදනම් කර ගනිමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබද විමර්ශන ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉකුත්දා දෙස් විදෙස් ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති ජාත්‍යන්තර වැඩසටහනකදී ඉදිරිපත්වූ අසත්‍ය කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබුණේ.
සිරිල් ගාමිණි පියතුමන් හා රොහාන් සිල්වා පියතුමන් ඇතුළු කතෝලික පූජකතුමන්ලා පිරිසක් ඉකුත් 23 වනදා සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම වැඩසටහනේදී විදෙස් රටවල සිටින ජනතාව අමතා ඇති බවද අදාළ පැමිණිල්ලේ සදහන්. එහිදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් තමාගේ ජීවිතයට හා පවුලේ සාමාජිකයින්ට ජීවිතවලට හානිදායක වන ලෙස ක්‍රියාකිරිම පිළිබද විමර්ශනයක් සිදුකරන ලෙසයි රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ.
ඒ අනුව තවදුරටත් මෙම විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සදහා අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස සිරිල් ගාමිණි පියතුමන්ට දැනුම් දී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.