Saturday, November 2, 2024

General line - 0115112241

අපවත් වූ වැලමිටියාවේ කුසලධම්ම හිමිගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්




අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

හිමිපාණන්ගේ අපවත්වීම සැල වූ වහාම ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇමතූ ජනාධිපතිවරයා, අදාළ සියලු කටයුතු සම්බන්ධීකරණය කරමින් ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමට සැලසුම් කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වූයේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වනවිට උන්වහන්සේ 84 වියේ පසු වුණා. විචිත්‍ර ධර්ම කථික හිමිනමක් ද වන ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් මෙරට ශාසනික උන්නතිය උදෙසා ඉමහත් සේවයක් කළ හිමිනමක් ලෙසයි සැලකෙන්නේ.

1937 පෙබරවාරි මස 20 වනදා කුරුණෑගල, වැලමිටියාව ගම්මානයේදී උපත ලද උන්වහන්සේ 1954 වසරේදී පැවිදි බිමට පිවිසියා. 1983 වසරේදී පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවනේ අධ්‍යක්‍ෂ ධුරයට පත් වූ ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් 1990 වසරේ සිට අපවත් වන තුරුම පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති ධුරයේ කටයුතු කළා.