Saturday, November 2, 2024

General line - 0115112241

වැලිකඩ කලහ කළ 50 ක් වෙනත් බන්ධනාගාරවලට




වැලිකඩ බන්ධනාගාරයේ විරෝධතාවයට සම්බන්ධ වූ සිරකරුවන් 50 කට ආසන්න පිරිසක් වෙනත් බන්ධනාගාරවලට මාරු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම විරෝධතාවය මෙහෙය වූ ප්‍රධාන සිරකරුවන් පස් දෙනෙකු මේ වනවිටත් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඒ අතර මරණ දඩුවම නියම වී සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුද සිටිනවා. මීට අමතරව ඉදිරියේදී එම විරෝධතාවට සම්බන්ධ වූ අනෙකුත් සිරකරුවන්ද මාරු කිරීමට නියමිතයි. ඔවුන් කුරුවිට, බදුල්ල, අගුණුකොලපැලැස්ස, යාපනය ඇතුළු බන්ධනාගාර කිහිපයකට මාරු කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

මරණ දඩුවම සහ දීර්ඝ කාලීන සිරදඩුවම නියම වී සිටින තමන් නිදහස් කරන ලෙස බල කරමින් ඔවුන් වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත විරෝධතාවයක නිරත වූයේ මීට මාසයකට පෙර සිටයි. බන්ධනාගාර නිලධාරීන් සිදුකළ මෙහෙයුමක් අතරතුරදී ඔවුන්ගෙන් පිරිසක් වහලයෙන් බැස වාට්ටු වෙත යළි ගොස් තිබුණා. 

තවත් සිරකරුවන් 8 දෙනෙකු අඛණ්ඩව වහලය මත නැග සිටි අතර බන්ධනාගාර බුද්ධි අංශයේ නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින් ඔවුන් පිරිස වහලයෙන් ඉවත් කර තිබුණා. 2024 වසරේ නිදහස්වීමට නියමිතව සිටි සිරකරුවෙක් පළමුව විරෝධතාවය ආරම්භ කළා. ඔහු විරෝධතාවය සදහා යොමු කර ඇත්තේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් බවටයි පසුව ඔහු බන්ධනාගාර නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

විරෝධතාවයේ නිරත වූ සිරකරුවන් බන්ධනාගාර ගොඩනැගිලිවලටද හානි කර තිබුණා. මේ හේතුවෙන් ගොඩනැගිලිවලට රුපියල් කෝටියක පමණ අලාභයක් සිදුව ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.