Friday, November 1, 2024

General line - 0115112241

මුතුරාජවෙල ආරක්ෂා කරන්න කාදිනල් හිමියන් අධිකරණයට




මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. 

එහි වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත්තේ නාගරික සංවර්ධන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර,  නාගරික සංවර්ධන අධිකාරිය, එහි සභාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වත්තල, මීගමුව සහ ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු පිරිසක්. 

කාදිනල් හිමිපාණන් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ රජය විසින් ඉකුත් ඔක්තෝම්බර් මස 07 වනදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් මුතුරාජවෙල තෙත්බිම් ප්‍රදේශවලට අයත් වන අත්කර 3,000කට අධික බිම් ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට තීරණය කර ඇති බවයි. 

මෙම පවරා ගැනීම හරහා අදාළ ප්‍රදේශයේ පදිංචි ජනතාවගේ ජීවනෝපායට දැඩි බලපෑම් එල්ල වන බවයි කාදිනල් හිමිපාණන් සිය පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ. ඒ අනුව අදාළ භූමි ප්‍රමාණය නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය අඩංගු ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිය පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.    

මුතුරාජවෙල තෙත්බිම්වලට අයත් ඉඩම් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මෙලස අදහස් පළ කළා.