Tuesday, May 7, 2024

General line - 0115112241

අයවැයට පෙර පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයෙන් රජයට යෝජනා මාලාවක්




පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද ඉදිරිපත් නියමිත 2022 වසර සඳහා වන අයවැය වෙනුවෙන්  පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය මේ වනවිට යෝජනා මාලාවක් රජය වෙත ඉදිරිපත් කර තිබෙනවා. .මෙරට පෞද්ගලික රෝහල් නියෝජනය කරන එකමුතුව වන පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස  සංගමයේ සභාපති,ආචාර්ය ආනන්ද කුරුප්පුආරච්චි ඒ පිළිබද මෙලෙස කරුණු දැක්වුවා.

  
- පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස ක්ෂේත්‍රයේ නියුතු ආයෝජකයන්ගේ සහ කර්මාන්තයේ උන්නතිය උදෙසා දැරිය යුතු සාමූහික ප්‍රයත්නයන් කැටිකොට ගනිමින් මෙම  ක්ෂේත්‍රය හරහා ජනතාවට මනා සේවයක් ලබාදීම අරමුණු කරගෙනයි මීට වසර 35 කට පමණ පෙර මෙම සංගමය ආරම්භ කෙරුණේ.මුල් අවධියේදී කිසිදු සැලකිල්ලට භාජනය නොවී තිබූ මෙම  ක්ෂේත්‍රය ල වර්තමානයේ පවතින තත්ත්වය දක්වා සාර්ථකව වර්ධනය කිරීමට පුරෝගාමීව කටයුතු කළේ අප සංගමය බව මට සතුටින් සඳහන් කරන්න පුළුවන්.පසුගිය කාලය තුළ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයද පෞද්ගලික වෛද්‍ය  ක්ෂේත්‍රය  වෙත වැඩි වශයෙන් යොමුවීමත් සමග, ඔවුන් අප සංගමය සමග ඇතිකර ගත් සම්බන්ධතාවයන් තුළින් මෙම කර්මාන්තයේ වර්ධනය උදෙසා ඉතා වැදගත් වන්නාවූ තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබුවා.එයින් එක් පියවරක් තමයි වර්තමාන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචිය,අධීක්ෂණය සහ සංවර්ධනය මූලික කරගනිමින් පාර්ලිමේන්තු පනත් අංක 21රැ2006 යටතේ  පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම .එම නියාමන සභාවේ පෞද්ගලික අංශය නියෝජනය කරනු ලබන්නේද අප සංගමයයි.
 
 
යෝජනා හරහා ඔබ සංගමය  මොනවගේ කරුණු කාරණා කෙරෙහිද අවධානය යොමුකර තිබෙන්නේ?
රටේ පවතින වර්තමාන වාතාවරණය අනුව,පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස ක්ෂේත්‍රයේ වගේම ජනතාවගේත් සුබසිද්ධිය පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට බඳුන් කිරීමෙන් අනතුරුවයි අප සංගමය එම යෝජනා මාලාව සකස් කරනු ලැබුවේ.එහිදී අපි දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සහ ඒ සඳහා මුහුණදීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇති හැකියාව ගැනත් අවධානය යොමුකළා.ඒ අනුව දැනට පවතින අඩුපාඩු හඳුනාගෙන ඒවා නිවැරදි කිරීම සඳහා රජයේ සහයෝගය අපි මෙවර අයවැයෙන් බලාපොරොත්තු වෙනවා.මෙම පවතින ගැටලුකාරී තත්ත්වයන් ගැන නිසි අවධානයක් යොමුනොකළහොත්,මේ වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය පද්ධතිය තුළ ඇති ප්‍රශ්න තවත් වැඩිවීමට ඉඩකඩ පවතිනවා.මෙම යෝජනාවලදී ක්ෂේත්‍රයේ උන්නතියට බලපාන අංශ කිහිපයක් කෙරෙහි අප අවධානය යොමුකර තිබෙනවා.ඒ අතරින් පළමුවැන්න තමයි, පුහුණු සේවක ඌණතාවය.අදවනවිට වෛද්‍ය,හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා යටතේ ඇති වෘත්තීන් සඳහා පෞද්ගලික අංශයේ ඌණතාවයක් පවතිනවා. ඇත්තටම මේ යටතේ වන ඇතැම් වෘත්තීන් සඳහා රාජ්‍ය අංශයේ පවා ඌණතාවයක් තිබෙනවා.එබැවින් මෙම පුරප්පාඩු පිරවීම සඳහා කෙටි කාලීන සහ දීර්ඝ කාලීන විසඳුම් අප සංගමය විසින් මෙවර අයවැය යෝජනා වෙනුවෙන් රජය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.දැනට විදේශ උපාධි ලබා සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට අවශ්‍ය ලියාපදිංචිය සහ සීමාවාසික පුහුණුව ඉක්මණින් ලබාගැනීමට සුදුසු පියවර ගැනීම,පෞද්ගලික අංශයේ හෙද ඌණතාවය මගහරවා ගැනීම පිණිස,අ.පො.ස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත පෞද්ගලික  රෝහල් සඳහා හෙදියන් බඳවා ගැනීමට ඉඩ ලබාදීමේ තීරණය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම,පරිපූරක වෛද්‍ය සේවා සඳහා ඩිප්ලෝමා හෝ සහතිකපත් පාඨමාලා ආරම්භ කර අදාළ වෘත්තිකයන් පුහුණු කිරීමට පියවර ගැනීම ඇතුළු යෝජනා රැසක් මීට ඇතුළත් වෙනවා.එමෙන්ම සෞඛ්‍ය අංශයේ වෘත්තිකයන්ට ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති නිසා,විධිමත් අධ්‍යාපනයක් තුළින් පුහුණු වෘත්තිකයන් බිහිකර ඔවුන් විදෙස් රැකියාවන්ට යොමුකිරීම තුළින් රටට විදෙස් විනිමය උපයා ගැනීමේ අවස්ථා ඇති බවත් අප මේ හරහා පෙන්වාදී තිබෙනවා.
 
 
 
 
 
■සංගමයේ අයවැය යෝජනා අතර ඇති අනෙකුත් යෝජනා මොනවාද?
 
පෞද්ගලික   වෛද්‍ය අංශය වැඩිදියුණු කිරීම සඳහා ලබාදිය යුතු පහසුකම් සහ බදු සහන සම්බන්ධයෙන්ද අප මෙවර රජයේ අවධානයට යොමුකර තිබෙනවා. උදාහරණයක් ලෙස ගතහොත්, මේ වනවිට දිවයින පුරා කුඩා පරිමාණයේ පෞද්ගලික රෝහල් සැලකියයුතු ප්‍රමාණයක් ස්ථාපිතවී තිබෙනවා.ඒවායේ උන්නතිය සඳහා රාජ්‍ය අනුග්‍රහය අත්‍යාවශ්‍යයි.මොකද,වෙනත් ව්‍යාපාර හා සැසඳීමේදී මෙය ලාභදායී ව්‍යාපාරයක් නොවෙයි.මේ කරුණු සැලකිල්ලට ගෙන. ආයෝජන මණ්ඩලය මගින් ලබාදෙන සහන තවත් වැඩිදියුණු කරන ලෙස අප යෝජනා කර තිබෙනවා.ඒවගේම සියලු රෝහල් සහ වෛද්‍ය උපකරණ සඳහා වන වැට් බදු ඉවත් කරන ලෙස ඉල්ලා සිටීම,රෝහල් සේවය
සඳහා විදුලිය සහ ජලය සැපයීමේදී සහනදායී පිළිවෙතක් අනුගමනය කරන ලෙස ඉල්ලා සිටීමල රසායනාගාර පරීක්ෂණ සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය සහ වෛද්‍ය ආයිත්තම් සඳහා බදු සහන ලබාදෙන මෙන් ඉල්ලා සිටීම,රෝහල් සඳහා නව ගොඩනැගිලි ඉදිකිරීමේදී අවශ්‍ය වන ද්‍රව්‍ය සඳහා වන අතිරේක බදු ඉවත් කර දෙන මෙන් ඉල්ලා සිටීම ආදී යෝජනාද මේ යටතේ අපි ඉදිරිපත් කර තිබෙනවා.
 
■පෞද්ගලික අංශයේ  දැනටමත් සේවයෙහි නියුතු වෘත්තිකයන්ගේ සුබසිද්ධිය උදෙසා මොනවගේ සහනද මෙවර අයවැය යෝජනා තුළින් බලාපොරොත්තු වෙන්නේ?
 
පෞද්ගලික අංශයේ නියුතු වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම,පෞද්ගලික අංශයේ වෘත්තිකයන්ටද මෝටර් රථ ආනයනයේදී බදු සහන ලබාදෙන මෙන් ඉල්ලා සිටීම,රෝහල් සේවක ප්‍රවාහනයට යොදාගන්නා වාහන සඳහා බදු සහන ලබාදෙන මෙන් ඉල්ලා සිටීම,සේවකයන් 50කට වැඩි සංඛ්‍යාවකට ඝෘජු රැකියා සපයන ආයෝජකයන්ට ආයෝජක දිරි දීමනා ලබාදීම යන යෝජනා ඊට ඇතුළත් වෙනවා.ඒ වගේම පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතන සඳහා අවශ්‍ය මගපෙන්වීම් සහ අනුමැතීන් කඩිනමින් ලබාගැනීමට හැකි අයුරින් පාර්ලිමේන්තු අංක 21රැ2006 අනුව ස්ථාපිත කර ඇති  පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනතට අනුව ශක්තිමත් කිරීමත්,හෙද සහ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් පුහුණුකිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපනය සඳහා අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමත් මෙවර අප සංගමය විසින් ඉදිරිපත් කරන ලද,  2022 අයවැය සඳහා වන යෝජනා අතරට ඇතුළත්.අපි බලාපොරොත්තු වෙනවා අප සංගමයේ මෙම යෝජනා සම්බන්ධව රජයේ අවධානය පුළුල් ලෙස යොමුවේවි කියා.
 
■ඇතැම් පෞද්ගලික රෝහල් මගින් ලබාදෙන සේවාවන් සහ පහසුකම් සම්බන්ධයෙන් ජනතාවට ගැටලු පැණනැගෙන අවස්ථා තිබෙනවා.එවැනි අවස්ථාවක ජනතාවට තමන්ගේ පැමිණිලි ඔබ සංගමය වෙත යොමුකර ඒ සඳහා විසඳුම් ලබාගැනීමට හැකියාවක් තිබෙනවාද?
 
ඔව්.එවැනි යම් ගැටලුවක් ඇත්නම් මුලින්ම එය රෝහල තුළදීම විසඳා ගැනීමට කටයුතු කරන්න පුළුවන්.එසේ කළ නොහැකි වුණොත් සංගමය හරහා ඊට විසඳුමක් ලබාගැනීමට  අවශ්‍ය පහසුකම් අප විසින් සලසාදී තිබෙනවා.ඒ සඳහා අපි මහාචාර්ය ලාල් චන්ද්‍රසේනගේ ප්‍රධානත්වයෙන් යුත් ආචාර ධර්ම කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුව හරහා එවැනි පැමිණිලි භාරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා.ඒ හරහා,අප සාමාජිකයන්ගෙන් යම් අඩුපාඩුවක් සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරගෙන ඉදිරියට යෑමට මගපෙන්වා දෙනවා.  යම් හෙයකින් එම කමිටුව හරහාද තමන්ගේ ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුණොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධ පුද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව වෙත තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජනතාව සතුව තිබෙනවා.මෙහිදී තවත් විශේෂ දෙයක් සඳහන් කළ යුතුව තිබෙනවා.මම මීට මාස තුනකට පමණ පෙර තමයි මෙම සංගමයේ සභාපති ධූරය සඳහා තේරීපත් වුණේ.මම මේ ක්ෂේත්‍රයේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීම සහ ජනතාව වෙනුවෙන් ඉහළම සේවයක් මේ හරහා ලබාදීම පිණිස කැපවී කටයුතු කරනවා විනා මේ තනතුර ආභරණයක් ලෙස පාවිච්චි කරන්නේ නැහැ.මා සහ මගේ ප්‍රධානත්වයෙන් කටයුතු කරන කණ්ඩායම ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු  ස්වයං පාලනයක් තුළින්  අවම කිරීමටයි උත්සාහ දරන්නේ.ඒ සඳහා අපි අපේ සාමාජිකයන් වෙනුවෙන් අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කරනවා.ඒ තුළින් ඔවුන් තමන්ගේ යම් අඩුපාඩු ඇත්නම් ඒවා හදාගෙන,ස්වයං පාලනයකින් යුතුව කටයුතු කිරීමට පෙළැඹෙනවා.ඒ වගේම අපි මේ ක්ෂේත්‍රය සම්බන්ධව ජනතාවගේ දැනුවත්භාවය  වැඩිකිරීමටත් කටයුතු කරනවා. මෙවැනි වැඩපිළිවෙලවල් දියත් කිරීම තුළින්  අපට මේ වනවිටත් පෞද්ගලික රෝහල් සම්බන්ධයෙන් එල්ල වන පැමිණිලි අවම කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා