Sunday, April 28, 2024

General line - 0115112241

අගමැති කුසලානය අවසන් මොහොතේ ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි




අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සීෂෙල්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා. 

ඒ කොළඹ රීඩ් මාවත තුරඟ තරග පිටියේ පැවති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම දඩුවම් පහර අවස්ථාවේදී ගෝල 3 ට එකක් ලෙස පරාජය කරමින්. 

ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගය නැරඹීම සඳහා පාපන්දු ලෝලීන් රැසක් කොළඹ තුරග තරග පිටියට පැමිණ සිටියා.  තරගයේ නියමිත කාලය අවසන් වූයේ ගෝල 3 -3 ක් ලෙසයි. ශ්‍රී ලංකා පිලට මෙම තරගය පහසුවෙන් ජය ගැනීම සදහා අවකාශ තිබුණද අවසන් මිනිත්තු කිහිපයේදී ක්‍රියාත්මක වූ සීෂෙල්ස් ක්‍රීඩකයින් නියමිත කාලය අවසන් කළේ දෙපිලේම ගෝල සම තත්වයට පත් කරමින්. 

තරගයේ 4වන විනාඩියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ මාවින් හැමිල්ටන්. එම ගෝලයත් සමග ශ්‍රී ලංකාව 1-0 ක් ලෙස පෙරමුණ ගත්තා.  අනතුරුව සීෂෙල්ස් කණ්ඩායම තරගයේ 45 වන විනාඩියේදී සිය පළමු ගෝලය වාර්තා කළ අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වූයේ ගෝල 1ට එකක් ලෙසයි. 

තරගයේ දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කිරීමට මොහොමඩ් ආකිබ් සමත්වුණා. ඒ තරගයේ 57 වන විනාඩියේදීයි. මෙම තරගාවලිය පුරා කැපී පෙනන දක්ෂතා දැක් වූ වසීම් රාසික් ශ්‍රී ලංකාව වෙනුවෙන් 3 වන ගෝල වාර්තා කළේ මෙම තරගාවලියේදී තමන් වාර්තා කළ 7 වන ගෝලය සටහන් කරමින්. 

එහෙත් සීෂෙල්ස් කණ්ඩායම 83 වන සහ 89 වන මිනිත්තුවලදී ගෝල දෙකක් වාර්තා කිරීමත් සමග මෙම තරගය තවත් උණුසුම් වුණා. 

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වූයේ ගෝල 3 ට 3ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයක සිටියදීයි. ඒ අනුව තරගයේ ජයග්‍රහකයින් තේරීම සඳහා දඬුවම් පහර ක්‍රියාත්මක කෙරුණා. එහිදී පළමු අවස්ථා දෙකම කණ්ඩායම දෙකම සාර්ථක කර නොගත් අතර සීෂෙල්ස් කණ්ඩායම දෙවන අවස්ථාව සාර්ථක කරගත්තා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ 2 අවස්ථාවද අසාර්ථක වූ අතර තුන්වන දඩුවම් පහර අවස්ථාව දැල් රකින ක්‍රීඩක නායක සුජාන් පෙරේරා ලබාගත් අතර එය ඔහු සාර්ථක කර ගත්තා. සීෂෙල්ස් කණ්ඩායම සිය 3 වන සහ 4 දඩුවම් පහර අවස්ථා සාර්ථක කර ගැනීමත් සමග ඔවුන්ට ජයග්‍රහණය හිමි වුණා. ඔවුන් දඩුවම් පහර අවස්ථාව ජය ගත්තේ ගෝල 3 ට එකක් ලෙසයි.   ආබාධයන්ට ලක් වීම හේතුවෙන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ඉදිරිපෙළ ක්‍රීඩකයන් වන ඩිලන් ද සිල්වා සහ කවිඳූ ඉෂාන්  ඊයේ පැවති අවසන් මහා තරගය සහභාගි වූයේ නැහැ. 

 ශ්‍රී ලංකා පිල මෙලෙස අවසන් මහ තරගයට එක් වූණේ වසර 15කට පසුවයි. ශ්‍රී ලංකා පිල ඊයේ තරගය පරාජය වීමත් සමග ඔවුන්ට වසර 21කට පසු  ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක ශූරතාවක් දිනා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වී ගියා. 

ඊයේ පැවති අවසන් මහ තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණේ ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ගිහානි ඉන්ෆැන්ටිනෝයි.