Thursday, November 28, 2024

General line - 0115112241

පෞද්ගලික බස් රථයක් සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් පරීක්‍ෂණයක්




අධික ලෙස ප්‍රමාද වෙමින් පෞද්ගලික බස් රථයක් ධාවනය වීමට එරෙහිව හඬ නැඟූ එම බස් රථයේම ගමන් කළ මගියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. 

ඔවුන් සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ලෙස බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට දැනටමත් දැනුම් දී ඇති බවයි.  

මෙම පහරදීම සිදුව තිබුණේ කොට්ටාව - ගල්කිස්ස 255 මාර්ග අංකය යටතේ ධාවනය පෞද්ගලික බස් රථයක් තුළදීයි.

මෙම බස් රථය හිතාමතාම අධික ලෙස ප්‍රමාද වී ධාවනය කරවීම සම්බන්ධයෙන් එහි සිටි මගියෙකු කොන්දොස්තරවරයාගෙන් විමසා තිබෙනවා. 

ගල්කිස්ස දක්වා ධාවනය කළ යුතු බස් රථය කටුබැද්ද හංදියෙන් නවතා සියලු මගීන් බස්වා බස් රථයේ කොන්දොස්තරව ප්‍රශ්න කළ මඟීන් කවුරුන්දැයි සොයා ඇති බවයි වාර්තා වන්නේ. පසුව බස් රථයේ රියදුරු, තවත් සහායකයෙක් සහ ඔහුගේම තවත් බසයක රියදුරු සහ කොන්දොස්තරවරයා සමඟ තවත් පිරිසක් පැමිණ ප්‍රශ්න කළ පුද්ගලයාට පහර දී තිබුණා. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම පියවර ගන්නා බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය අවධාරණය කළේ.