Wednesday, May 8, 2024

General line - 0115112241

බන්ධනාගාරගත රැදවියන් ගැන විශේෂ අනාවරණයක් 




බන්ධනාගාරගත කාන්තා රැදවියන්ගෙන් සියයට 78 යි දශම 3 ක් සහ පිරිමි රැදවියන්ගෙන් සියයට 60 යි දශම 7 ක්  මානසික පීඩනයෙන් පෙළෙන බව සමීක්‍ෂණයකින් අනාවරණය වී තිබෙනවා. 

ඒ, බන්ධනාගාර 22 ක රැදවියන් 1730 දෙනෙකු ආශ්‍රිතව සිදුකළ සමීක්‍ෂණයකදීයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හා කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය මලවිගේ අමිල සුරංග මෙම සමීක්‍ෂණය සිදුකර තිබෙනවා. 

එහිදී අනාවරණ වී ඇත්තේ මානසික පීඩනයෙන් පෙළෙන වැඩිම පිරිසක් බන්ධනාගාරගත සැකකරුවන් බවයි. එම පිරිස සියයට 68 යි දශම 4 ක්. බන්ධනාගාරගත සිරකරුවන්ගෙන් සියයට 63 යි දශම 2 ක් ද මානසික පීඩනයෙන් පෙළෙන බවයි සමීක්‍ෂණ වාර්තාවේ දැක්වෙන්නේ. 

ඒ අනුව සමස්ථයක් ලෙස බන්ධනාගාරගත සිරකරුවන් සහ සැකකරුවන්ගේ සියයට 65 යි දශම 6 ක් මානසික පීඩනයෙන් පෙලෙනවා. 

ඊට බලපා ඇති හේතු ලෙස සිරගත වු පසු පවුලේ අයගේ රැකවරණය සලසාදීම, විරැකියාව. බන්ධනාගාරවල පවතින යටිතල පහසුකම්වල අඩුපාඩු සහ විවිධ රෝගවලින් පෙලීම බව සමීක්‍ෂනය සිදුකළ වෛද්‍ය මලවිගේ අමිල සුරංග හදුනාගෙන තිබෙනවා. බන්ධනගාරගත වු පසු මත්ද්‍රව්‍ය භාවිතයට අවස්ථාවන් නොමැති වීම, බන්ධනාගාර ගතවු පසු පවුලේ අය හා අන් අය කොන් කිරීම, බාහිර සන්නිවේදන සදහා ප්‍රමාණවත් කාලයක් නොලැබීම ද ඊට අයත්.

මේ වනවිට බන්ධනාගාර ගත සමස්ත රැදවියන් ගණන 19,800 ක් පමණ වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.