Tuesday, May 14, 2024

General line - 0115112241

ජගත් පාපන්දු සභාපති පැළඳි මුව ආවරණය ගැන ශ්‍රී ලංකා පාපන්දු සභාපති සමාව අයදියි




අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ ශ්‍රී ලංකා සංචාරයේදී පැළඳි සිංහ ධජය සහිත මුව ආවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. 

එහි සභාපති ජස්වර් උමාර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා එවැනි මුව ආවරණයක් පැළඳ තිබුණේ ශ්‍රී ලංකාව කෙරෙහි ඔහු තුළ ඇති ගෞරවයට සහ ආදරයට මිස අන්කිසිවක් නොවන බවයි. 

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූයේ සිංහ ධජය සහිත මුව ආවරණය පැළඳගෙනයි. මෙම සිදුවීමෙන් කිසියම් පාර්ෂවයකට හෝ කිසියම් පුද්ගලයෙකුට සිත් රිදවීමක් හෝ සමාජයේ වැරදි මතයක් ගොඩනැගුනේ නම් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙනුවෙන් සහ ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් තමන් ජනතාවගෙන් සමාව අයැද සිටින බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් සඳහන් කළේ. 

මෙය දේශපාලන හෝ ජාතිවාදී කරුණක් ලෙස හුවා නොදක්වන ලෙසද ඔහු ඉල්ලීමක් කළා. අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය මෙරට පාපන්දුවේ නව වෙනසක් සහ විශාල අභිවෘද්ධියක් ඇති කරනු ඇති බවට තරයේ විශ්වාස කරන බවයි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.