Sunday, April 28, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙයිට් ගෙන්වන්න අවසර දුන්නද? ආණ්ඩුව උත්තර දෙයි




ග්ලයිෆොසෙට් ඇතුළු පළිබෝධනාශක වර්ග 05ක් භාවිතය තහහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත්  කරනු ලැබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනු ලබන රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය 05ක් තහනම් කරමින් 2014 වර්ෂයේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනය මෙලෙස අවලංගු කර ඇති බවයි නව ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරිල්, ක්ලෝෆයිරිපොස් සහ කාබොෆියුරාන් ලෙස හඳුන්වනු ලබන සක්‍රිය රස ද්‍රව්‍ය අන්තර්ගත වන පලිබෝධ නාශක ද්‍රව්‍ය විකිණීම සහ භාවිතය තහනම් කරමින් 2014 දෙසැම්බර් මස 22 වෙනිදා අති විශේෂ ගැසට් නිවේනදයක් නිකුත් කරනු ලැබුවා. 

එම ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නනරුව, කුරුණෑගල, මොණරාගල, දිස්ත්‍රික්ක තුල හා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, රිදිමාලියද්ද සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල මෙම පළිබෝධනාශක ද්‍රව්‍ය විකිණීම හා භාවිත කිරීම තහනම් කරනු ලැබුවා.

එම අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අද දිනයේදී නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

නව ගැසට් නිවේදනය නිකුත් වීමත් සමග දැඩි ආන්දෝලනයකට තුඩුදුන් ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල් ඇතුළු පලිබෝධනාශක වර්ග 05 ක් මෙරටට ගෙන්වීමට යළි අවසර දී ඇත්දැයි දැඩි කථාබහක් මතුවුණා. ඊට ආසන්නතම හේතුව වූයේ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති රැස්වීමකදී බඩඉරිගු, ධාන්‍ය හා එළවළු වැනි වගාවන් සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පොෟද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමුව තිබීමයි. 

එවැනි තීරණයක් ගෙන තිබියදී හදිසියේ නිකුත් වූ නවතම ගැසට් නිවේදනය සම්බන්ධයෙන් නෙත් නිවුස් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වාගෙන් විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර නිකුත් වීමට තිබූ ගැසට්ටුවක් ඊයේ දිනයේ හදිසියේ නිකුත් වී ඇති බවයි.  

ඒ අනුව හදිසියේ මෙවැනි ගැසට් පත්‍රයක් නිකුත් වූයේ මන්දැයි පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ ඒ සුමිත්ගෙන් විමසා බැලුවා. 

ගැසට් නිවේදනයක් හදිසියේ නිකුත් වීමත් සමග මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු අවධාරණය කළේ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට රජය කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි. පලිබෝධනාශක වර්ග 05 ක තහනම ඉවත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගෙන් නිදහසට කරුණු විමසා ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා. 

නිකුත් වූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් පරස්පර විරෝධයක් මතුව ඇති බැවින් නෙත් නිවුස් ජනාධීපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංගගෙන් ද ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. එහිදී ඔහු අවධාරණය කළේ ඉයේ පැවැති රැස්වීමේදී පෙර පැවැති පරිදි රසායනික පොහොර ගෙන්වීමට හෝ කෘමි නාශක ගෙන්වීමට තීරණයක් නොගත් බවයි. 
 

එම ගැසට් නිවේදන පහතින් දැක්වේ..