Saturday, May 4, 2024

General line - 0115112241

උඩරට එළවළු එයි - මිල තරමක් පහළ යයි




දින කිහිපයකට පසු වෙළඳපලේ එළවළු මිල ගණන් තරමක් දුරට අඩුවී තිබෙනවා.

ඒ, උඩරට ඇතුළු ප්‍රදේශ රැසකින් එළවළු තොග වැඩි වශයෙන් වෙළඳපලට ලැබීමත් සමගයි.

ඉකුත් දිනවල වෙළඳපලට නොපැමිණි කැරට්, ලීක්ස්, බීට්රූට්, බෝංචි සහ ගෝවා ද ඒ අතරට අයත්.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පැවසුවේ ඉකුත් දිනවල පැවැති එළවළු කිලෝවක තොග මිලට සාපේක්ෂව අද වනවිට කිලෝවක තොග මිල රුපියල් 50 ත් 60 ත් අතර ප්‍රමාණයකින් අඩුවී ඇති බවයි.

රුපියල් 300 ත් 350 ත් අතර මිලකට අලෙවි වූ ලීක්ස් කිලෝවක තොග මිල අද සටහන් වූයේ රුපියල් 260 ත් 280 ත් අතර මිලකටයි.

රුපියල් 350 ක්ව පැවැති කැරට් කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර මිලකට අඩුවී තිබුණා. රුපියල් 350 ක්වූ බෝංචි කිලෝවක මිල අද සටහන් වූයේ රුපියල් 200 ත් 220 ත් අතර මිලකයි.

රුපියල් 300 ක මට්ටමේ පැවැති තක්කාලි කිලෝවක මිල රුපියල් 200 ත් 220 ත් අතර තොග මිලකට අඩුවී තිබුණා.

රුපියල් 200 ත් 300 ත් අතර මිලක පැවැති දෙල් ගෙඩියක මිල අද වනවිට රුපියල් 130 ත් 160 ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළඳපල නිරීක්ෂණයේදී දැකගත හැකි වුණේ.

පෙර දිනවලට සාපේක්ෂව අද දිනයේ එළවළු මිල ගණන් තරමක් පහළ ගොස් තිබුණද, සමස්ථයක් ලෙස ගත් කළ එළවළු මිල තවමත් පවතින්නේ ඉහළ අගයකයි. මේ හේතුවෙන් පාරිභෝගිකයින් මෙන්ම වෙළඳුන් හා එළවළු ගොවීන් ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

එළවළු මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් අද සිට බත් පැකැට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමුණා.