Wednesday, May 8, 2024

General line - 0115112241

ඔමික්‍රෝන් නිසා බ්‍රිතාන්‍යය දැඩි අවදානමක - වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ වාර්තා වෙයි




කොවිඩ් වසංගත තත්ත්වය ආරම්භයෙන් පසු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. එම සංඛ්‍යාව 78,610 ක්. බ්‍රිතාන්‍යයෙන් එලෙස වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් වාර්තා වුණේ ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි. 

මීට පෙර බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 68,053 ක්. එම ආසාදිතයින් පිරිස හඳුනා ගැනුණේ ඉකුත් ජනවාරි 08 වනදායි. 

ඒ වනවිටත් බ්‍රිතාන්‍යය අගුළු දැමීමකට ලක් කර තිබුණා. එහෙත් මේවනවිට බ්‍රිතාන්‍යය එලෙස අගුළු දැමීමකට ලක් කර නොමැති අතර එළමෙන නත්තල් උත්සවයට සමගාමීව ජනතාව සුපුරුදු ජීවන රටාවට අනුගත වෙමින් සිටිනවා. 

කෙසේවෙතත් පවතින අවදානම් තත්ත්වය හමුවේ ඉදිරි සති කිහිපය තුළ බ්‍රිතාන්‍යය තුළ පවතින සෞඛ්‍ය අවදානම තවදුරටත් තීව්‍ර වනු ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ. මේවනවිට එංගලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ලන්ඩනයෙන්. මේවනවිට යළිත් බ්‍රිතාන්‍යයය තුළ ආසාදිතයින් රෝහල්ගත වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසුවේ නත්තල් උත්සවය අභියස සිටින බ්‍රිතාන්‍ය වැසියන් සෞඛ්‍ය උපදෙස් සඳහා වැඩි අවදානයක් ලබාදිය යුතු බවයි. ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබාගැනීම අතිශය වැදගත් බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. 
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ බෝවන වෛරසයක් සමඟ කටයුතු කිරීම සංවේදී දෙයක් බව වටහා ගැනීමට වෛද්‍ය උපාධියක් අවශ්‍ය නොවන බවයි. 

මේ අතර ඔමික්‍රෝන් ප්‍රභේදය සම්බන්ධයෙන් ලොව රටවල් දක්වන්නේ අඩු සැලකිල්ලක් බවත්, තමන් ඒ සම්බන්ධයෙන් කණස්සල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ආදනම් ඊයේ ප්‍රකාශ කළා.