Friday, May 10, 2024

General line - 0115112241

ඇමති බන්දුලගේ යෝජනාවට විපක්ෂයේ කැමැත්ත




ශ්‍රී ලංකාව පත්ව ඇති දැවැන්ත මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාර්ශවික සමුළුවක් කැඳවන බවට රජයේ පාර්ශවයෙන් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂය සිය ප්‍රසාදය පළ කරනවා. 

යහපත් අරමුණකින් එවැනි සමුළුවක් කැඳවන්නේ නම් ඊට සහභාගී වන බවයි නෙත් නිවුස් කළ විමසීමකදී සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පැවසුවේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ පැවසුවේ රට පක්ව ඇති අර්බුදය සම්බන්ධයෙන් ජාතික වශයෙන් පුළුල් සංවාදයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා විසින් සර්ව පාර්ශවික සමුළුවක් කැඳවනු ඇති බවයි.

සර්ව පාර්ශවික සමුළුවක් කැඳවුවහොත් ඊට සහභාගී වනවාද ? මේ, නෙත් නිවුස් කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ජාතික ජනබලවේගයෙන් ද විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සඳහන් කළේ මේ දක්වා එවැනි නිළ ආරාධනයක් ලැබී නොමැති බවයි.

ශ්‍රී ලංකාව පත්ව ඇති දැවැන්ත මූල්‍ය අර්බුදයට විසදුම් සෙවීම සඳහා සර්ව පාර්ශවික සමුළුවක් කැඳවන බවට රජයේ පාර්ශවයෙන් යෝජනා වන්නේ විදෙස් ණය ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ ජාත්‍යන්තර ෆිච් රේටින්ග් ආයතනය අනතුරු ඇඟවීමක්ද කර ඇති පසුබිමකයි. 

එම ආයතනය ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම ඉකුත් දා පහත දැමීමටයි කටයුතු කළේ. කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ සය මාසික පෙර දැක්මෙහි දක්වා ඇති පරිදි විදේශ විනිමය ගලා ඒම් පිළිබඳ දැනුවත් කර ඇතත් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් දිගින් දිගටම ගන්නා නොසැලකිලිමත් ක්‍රියාමාර්ග සාධාරණ නොවන බවයි.

මේ අතර රටේ ඩොලර් අර්බුදයක් පවතින අවස්ථාවක පක්ෂ විපක්ෂ මැතිඇමතිවරුන් විදෙස් සංචාරවල නිරතවීම සම්බන්ධයෙන් ද ඉකුත්දා විවිධ වාර්තා පළ වුණා. ආණ්ඩු පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පමණ විදේශ ගතවූ බවටයි නිල නොවන වාර්තා අනාවරණ කළේ. 

රට තුළ ඩොලර් හිඟයක් ඇතැයි දැඩිව ප්‍රකාශ කරන සමයක මෙලෙස මැති ඇමතිවරුන් රටේ ඩොලර් වියදම් කරමින් පෞද්ගලික සංචාරවල නිරතවීම කෙතරම් සදාචාරාත්මක දැයි බොහෝ පාර්ශව නගන ප්‍රශ්නයක්. නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින් ද අද සාකච්ඡා කෙරෙන්නේ ඒ පිළිබඳවයි.