Tuesday, May 7, 2024

General line - 0115112241

ඊශ්‍රායල වැසියන්ට කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක්




ඊශ්‍රායලය තුළ ක්‍රියාත්මක කොරෝනා මර්දන වැඩසටහන යටතේ එරට වැසියන්ට කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව බූස්ටර් මාත්‍රාව ලබා ගත් ඊශ්‍රායල වැසියන්ට සිව්වන මාත්‍රාවකුත් හිමිවනු ඇති. 

කෙසේවෙතත් එහි පළමු අදියර ලෙස සෞඛ්‍ය සේවකයින්ට හා වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට පළමුව සිව්වන මාත්‍රාව ලබාදීමටයි ඊශ්‍රායලයේ වසංගත විද්‍යාඥයින් නිර්දේශ කර ඇත්තේ. 

අදාළ නිර්දේශයන් පිළිගෙන ඇති  ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්, එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් සිව්වන මාත්‍රාවක් ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් එරට ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරීන්ගේ මෙතෙක් සිය අනුමැතිය ලබාදී නැහැ. 

ඒ හේතුවෙන්  තුන්වන මාත්‍රාව ලබාගෙන අවම වශයෙන් මාස හතරකට පමණ පසුව අදාළ පුද්ගලයින් සඳහා සිව්වන මාත්‍රාව ලබා දීමටයි ඊශ්‍රායලය තීරණය කර ඇත්තේ. 

සිය ජනතාවට සිව්වැනි මාත්‍රාවක් ලබාදීමට ඊශ්‍රායලය තීරණය කළේ එරට පළමු ඔමික්‍රෝන් ආසාදිත මරණය ඊයේ වාර්තාවීමත් සමගයි. 

මේවනවිට ඊශ්‍රායලයෙන් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිත පුද්ගලයින් 340 දෙනෙකු පමණ හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.