Wednesday, May 8, 2024

General line - 0115112241

ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය වාර්තා වේ




ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිත පුද්ගල මරණය අද වාර්තා වුණා. ඒ, එරට වැඩිම ජනගහනයක් වෙසෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්. 

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80 ක් වු පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අදාළ පුද්ගලයා කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා 02 ම ලබාගෙන තිබෙනවා. එහෙත් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අදාළ පුද්ගලයා මියගිය බවයි ඕස්ට්‍රේලියාවෙ සෞඛ්‍ය අංශ පැවසුවේ. 

ඕස්ට්‍රේලියාවෙන් මේවනවිට වාර්තා ගත ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව හඳුනා ගැනෙනවා. එලෙස ආසාදිතයින් ඉහළ යාමට හේතුව ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය විය හැකි බවයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ. 

එයින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයයි. එම ප්‍රාන්තයෙන් ඊයේ 6,000 ඉක්මවූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. 

පවතින තත්ත්වය හමුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නව සීමා පැනවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා. 

කෙසේවෙතත් ප්‍රාන්තය තුළ මේවනවිට රෝහල් කාර්ය මණ්ඩල හිඟයක් ද වාර්තා වන බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ හේතුවෙන් රෝහල් කාර්යය මණ්ඩලවල සාමාජිකයින් කොරෝනා ආසාදිතවුවහොත් හුදෙකලා කිරීම සිදු නොකරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.  

මේ අතර ඕස්ට්‍රේලියාවෙ වික්ටෝරියා ප්‍රාන්තයෙන් ද මේවනවිට කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් තිබෙනවා. එලෙස හඳුනා ගැනෙන ආසාදිතයින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූවන් ද යන්න තහවුරු කර ගැනීම සඳහා අහඹු පරීක්ෂණ සිදුකරන බවයි ප්‍රාන්ත බලධාරීන් පැවසුවේ.