Thursday, May 2, 2024

General line - 0115112241

අඛණ්ඩ විදුලි සැපයුමකට ඉන්ධන සෙවීම තවමත් අර්බුදයක




මෙරට අඛණ්ඩ විදුලි නිෂ්පාදනය තවදුරටත් පවතින්නේ දැඩි අර්බුදයකයි. ඒ, විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන තවදුරටත් ලබාදිය නොහැකි බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කිරීමත් සමගයි. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල විදුලිබල අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දී ඇත්තේ විදුලි උත්පාදනයට ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සදහා අනිවාර්යයෙන්ම ඩොලර් ලබාදිය යුතු බවයි. ඒ අනුව අදින් පසුව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබාදීම සිදුනොවනු ඇති. 

මෙවන් පසුබිමක විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ අද ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය සඳහා ඉන්ධන සපයාගැනීම වෙනුවෙන් ලංකා IOC සමාගම සමග සාකච්ඡා කරන බවයි. එම සාකච්ඡාව හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ. ලබන සෙනසුරාදා වන තෙක් අඛණ්ඩ විදුලි සැපයුමක් සදහා කෙසේ හෝ ඉන්ධන සොයාගත යුතු බවද විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. කෙසේවෙතත් විදුලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන ලබාගැනීම වෙනුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

විදුලි උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉකුත් දින කිහිපයකම ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිද වැටුණා. 
කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දෛනිකව ඩීසල් මෙටි්‍රක් ටොන් 1,500 බැගින් හෙට දිනය දක්වා ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර මෙහෙයුම්වල යෙදී සිටින විදුලි ඉංජිනේරුවන් හැර සෙසු සියලුම ඉංජිනේරුවන් හෙට දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද ප්‍රකාශ කළා. මෙවන් පසුබිමක රුපියල් බිලියන 5ක්ව පැවති විදුලිබල මණ්ඩලයේ වාර්ෂික අලාභය පවතින විදුලි බිඳවැටීම් හමුවේ තවත් රුපියල් බිලියන තුනකින් පමණ ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ  තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය පවසනවා.