Thursday, May 2, 2024

General line - 0115112241

නව ජනාධිපති ලේකම්වරයා අද වැඩ භාර ගනියි




නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද වැඩ භාර ගැනීමට නියමිතයි. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි. 

ගාමිණී සෙනරත් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළා. ඒ, 2019 වසරේ නොවැම්බර් 21 වනදා සිටයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රධානියා සහ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේද ගාමිණී සෙනරත්. 

කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සම්පූර්ණ කළ ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වන්නේ 1984 වසරේදීයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා.

ගාමිණී සෙනරත්ගෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා වත්මන් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක පත් කිරීමට නියමිතයි. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය හදාරන අනුර දිසානායක වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නිලතලද හොඹවා ඇති අනුර දිසානායක, සම්මානණිය රාජ්‍ය සේවකයෙක්. 

මේ අතර වාරිමාර්ග අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස අයිවන් පෙරේරා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ. ඔහු මේ වන විට වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනවා.