Friday, May 10, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණයෙන් අධිවේගී මාර්ගයේ නිලධාරියෙකුට ස්ථාන මාරුවක්




කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ වටිනා ගස් 10 ක් අනවසරයෙන් කපා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින නිලධාරියා නෙත් නිවුස් අනාවරණයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබෙනවා. අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු කාර්යාල පරිශ්‍රයේ තිබූ එම ගස් කපා දැමීමේ සිද්ධියට චෝදනා ලැබ සිටියේ එම කාර්යාලයේ ම සේවය කරන අයකැමි අධිකාරීවරයෙක්. 

නෙත් නිවුස් මීට පෙර අනාවරණය කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය පරීක්ෂණයක් ආරම්භ කළද එම නිළධාරියා සීදුව අන්තර් හුවමාරු කාර්යාලයේ තවදුරටත් රාජකාරී කරන බවයි. එම පරීක්ෂණය සිදුකරන නිලධාරියා ද මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම්දී තිබුණේ පරීක්ෂණ අවසන් වන තෙක් අදාළ නිලධාරියා වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසයි.

එවන් පසුබිමක් තුළ එම අධිකාරියේම උසස් නිලධාරියකු, නිලධාරිනියක් ඇතුලු කිහිපදෙනෙක් ඔහුට අමතර දිමනාවක්ද සහිතව රාජකාරී ආවරණයට ලිපියක් නිකුත් කරමින් කුරුණෑගල-මීරිගම කොටසේ රාජකාරි ආවරණයට ද අවස්ථාව ලබා දී තිබුණා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ද  අනාවරණ කිරීමෙන් පසුව එම නිලධාරියාට ලබාදුන් එම අතිරේක වරප්‍රසාදය අවලංගු කිරීමටයි මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබුණේ. 

අධිවේගී මාර්ගයේ සීදුව අන්තර් හුවමාරු කාර්යාලයේ චෝදනාවට ලක්ව සිටින අයකැමි අධිකාරීවරයා තවදුරටත් එම කාර්යාලයේ ම සේවය කරන්නේ මන්දැයි නෙත් නිවුස් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ප්‍රශ්ණ කළේ ඉන් අනතුරුවයි.

ඉන් පසුව අදාළ නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ අවසන් වන තෙක් බණ්ඩාරගම කාර්යාලය වෙත ස්ථාන මාරු කරන ලෙස දන්වමින් අධිවේගී මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කලමණාකරණ අධ්‍යක්ෂවරයා වෙත  ඉකුත් 26 වනදා මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ලිපියක් යොමු කර තිබුණා. 

එහෙත් ඊයේ දිනයේදී ද අදාළ නිලධාරියා සීදූව කාර්යාලයේම රාජකාරී කරන බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ, ඔහුගේ ස්ථාන මාරුවීමට අදාළ ලිපිය ලැබී නොමැති බවට පවසමින්. කෙසේවෙතත් අදාළ ස්ථාන මාරුවීම පිළිබද ලිපිය මාර්ග සංවර්ධන අධිකාරියේ පාලන අංශය විසින් නිසිපරිදි අධිවේගී මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කලමණාකරණ අධ්‍යක්ෂවරයා වෙත යවා තිබු බවයි වාර්තා වුණේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සාරද වීරකෝන් දැනුවත් කළා. ඒ අනුව අදාළ නිලධාරියාගේ ස්ථාන මාරුවීම වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කරන ලෙස ඔහු විසින් අධිවේගී මාර්ගයේ මෙහෙයුම්, නඩත්තු හා කලමණාකරණ ඒකකය වෙත නියෝග කර ඇත්තේ ස්ථාන මාරුවීමට අදාළ ලිපිය ෆැක්ස් මඟින් ද සීදූව කාර්යාලය වෙත යොමු කරමින්.