Thursday, May 9, 2024

General line - 0115112241

හදිසි විදුලි මිලදී ගැනීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් විසිවෙයි




පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදී ගැනීම් සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වූ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වනවා. 

එම යෝජනාවේ සඳහන්ව තිබී ඇත්තේ මෙතෙක් විදුලිය මිලදී ගත් පෞද්ගලික සමාගම් දෙකකින් වසර 03 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමටයි. එහෙත් අමාත්‍යවරුන් ඊට විරෝධය පළ කර ඇති බවයි වාර්තා වන්නේ. 

අමාත්‍යවරුන් පෙන්වා දී ඇත්තේ පවතින විදුලි අර්බුදය විසදන තෙක් පමණක් මාස 06 කට විදුලිය මිලදී ගැනීම යෝග්‍ය බවයි. එහෙත් වසර 03 ක කාලයක් සඳහා ගිවිසුම් ගතවීමෙන් පෞද්ගලික අංශයෙන් විදුලිය ලබානොගන්නා කාල සීමාවේද ගෙවීම් කිරීමට සිදුවන බව අමාත්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. 

එබැවින් විවෘත ටෙන්ඩර් කැඳවීමකින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමටයි කැබිනට් මණ්ඩලයේදී එකඟතාව පළවී ඇත්තේ. 

මීළඟ කැබිනට් මණ්ඩලයේදී ඒ පිළිබඳ ස්ථිර තීරණයක් ගැනීමටත්, මේ මාසය ඇතුලත එම කටයුතු අවසන් කිරීමටත් එහිදී එකඟතාව පළ වූ බවයි වාර්තා වන්නේ. 

ඉකුත් මාසය පුරා මෙරට අඛණ්ඩ විදුලි සැපයුම දැඩි අර්බුදයකට මුහුණ දුන්නා. 

ඒ, නොරොච්චෝලේ බාලාගාරයේ ජනන යන්ත්‍රයක් හදිසියේ අක්‍රියවීමත් සමඟයි. 

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය උත්පාදනය කිරීමට සිදුවූයේ ඩීසල් සහ දැවි තෙල් යොදා ගනිමින්. එහෙත් ඊට ද පවතින ඩොලර් ප්‍රශ්ණය දැඩි ලෙස බලපෑම් එල්ල කළා. ජල විදුලි උත්පාදනය ද ක්‍රමයෙන් අඩු වෙමින් ඇත්තේ මෙවන් පසුබිමකයි. එබැවින් පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට තීරණය කළ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ ඊයේ තහවුරු කළා.

එහෙත් විදුලි වෘත්තිය සමිති මෙන්ම බොහෝ පාර්ශව පෙන්වා දුන්නේ මෙලෙස පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමෙන් වංචාවක් සිදුවනවා මෙන්ම රටට විශාල පාඩුවක් ද සිදුවන බවයි. හදිසි විදුලිය මිලදී ගැනීමකදී ද ඒ සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමැතිය ලබාගත යුතුයි. 

ගතවූ වසර 05 ක කාලය තුළද පෞද්ගලික අංශයෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා ඉල්ලීම් 16 ක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඒවා ප්‍රතික්ෂේප කිරීම හරහා රජයට රුපියල් බිලියන 570 ක් ඉතුරුවූ බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ.

මහජන උපයෝගීතා කොමිසම ඊයේ තහවුරු කළේ නැවත දැනුම්දෙනතුරු විදුලි කප්පාදුවක් සිදුනොකරන බවයි. එහෙත් ජලයෙන් විදුලිය උත්පාදනය ක්‍රමයෙන් අඩු වෙමින් ඇති බැවින් ජනතාව අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කළහොත් පමණක් විදුලි කප්පාදුවක් සිදු නොවන බව ද මෙහිදී අවධාරණය කළා.