Thursday, May 9, 2024

General line - 0115112241

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලවලත් හිඟයක්




කොවිඩ් ආසාදිතදැයි හඳුනා ගන්නා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන කට්ටලවල හිඟයක් ඇතැයි දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වනවා. 

නෙත් නිවුස් ඇමතූ අසන්නන් පැවසුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඇතැම් රජයේ රෝහල්වලට ගිය ද එහිදී එම පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකි වූ බවයි. ඇතැම් පෞද්ගලික ආයතන සතුව ද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නොමැති බව ඔවුන් පැවසුවා. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පැවසුවේ මෙම තත්ත්වය හේතුවෙන් බිම් මට්ටමේ සේවා පවත්වාගෙන යාමටද ගැටලු මතුව ඇති බවයි.

ඒ අනුව මෙහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විමසීමක් කළා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ ඔමික්‍රෝන් ව්‍යාප්තියේ ඉහළ යාමත් සමඟ ලොව පුරා ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම ද ඉහළ ගොස් ඇති බවයි. එබැවින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරටට ගෙන්වීමේ ප්‍රමාදයක් ඇති බව ඔහු තහවුරු කළා. 

කෙසේවෙතත් සෞඛ්‍ය අංශයේ එදිනෙදා කටයුතුවලට එය බාධාවක් වී නොමැති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එහෙත් මේ වන විට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන්නේ, එම පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය පුද්ගලයින්ට බවයි ඔහු පෙන්වා දුන්නේ.

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙන්ම පීසීආර් පරීක්ෂණ කට්ටලවලද අඩුවක් පවති්න්නේදැයි මෙහිදී විමසීමක් කළා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ දත්තවලට අනුව ඉකුත් 25 වනදා සිට මෙරට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 6,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

එහෙත් ජනවාරි මස 22 වනදා තෙක් දෛනික රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව 1,900 ත් 5,200 ත් අතර මට්ටමක පැවතුනා. ඊයේ දිනයේ මෙරට තුළ පීසීආර් පරීක්ෂණ 1,739 කුත්, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 6,213 කුත් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ දත්තවල සඳහන් වන්නේ.