Sunday, May 5, 2024

General line - 0115112241

මොරොක්කෝවේ ළිං කුහරයක් තුළ දරුවෙකු සිරවෙයි - මුදා ගැනීමට අඛණ්ඩ මෙහෙයුම්




දින 03 ක් පුරා නළ ළිං කුහරයක් තුළ සිරවී සිටින වයස අවුරුදු 05 ක කුඩා පිරිමි දරුවෙකු මුදා ගැනීම සඳහා මොරොක්කෝ සහන කණ්ඩායම් ප්‍රබල මෙහෙයුමක නිරත වී සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ ඉකුත් අගහරුවාදා රාත්‍රියේදී එම දරුවා මිටර්  32 ක් පමණ ගැඹුරු එම ළිං කුහරයේ පතුලට ඇස වැටී ඇති බවයි. ඒ සිය පියා සමගින් ඒ ආසන්නයේ රැඳී සිටි අවස්ථාවකදීයි. 

අනතුරුව බදාදා උදෑසන වනවිට දරුවා මුදා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර මේ දක්වා එම මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙනවා. ළිං කුහරයේ විශ්කම්භය ඉතා පටු බැවින් සහන සේවකයෙකුට හෝ ඒ තුළින් අතුළුවී දරුවා සිටින ස්ථානයට ළගාවීමට නොහැකි බවයි පැවසෙන්නේ. 

එබැවින් ළිං කුහරයට ආසන්නයෙන් කැනීම් සිදුකර දරුවා මුදා ගැනීමටයි මේවනවිට කටයුතු ආරම්භ කර ඇත්තේ. ඒ සඳහා කැනීම් යන්ත්‍ර 05 ක් පමණ යොදවා ඇති ආකාරයත් සහන සේවා කණ්ඩායම් සහ තවත් විශාල පිරිසක් මෙහෙයුම සඳහා එක්ව සිටින ආකාරයත් විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේවනවිට දරුවා සිරවි සිටින ස්ථානයට ආසන්නයෙන් මිටර් 19 ක් පමණ පොළව තුළට කැනීම් සිදුකර තිබෙනවා.  

දරුවා මුදා ගැනීමෙන් අනතුරුව ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයේ රැඳී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දරුවාට අවශ්‍ය ඔක්සිජන් හා ජලය නළ මාර්ගයෙන් සපයන අතර කඹයක් ඔස්සේ ළිං කුහරය තුළට යොමු කර ඇති කැමරාවක් මගින් ඔහුගේ තත්ත්වය නිරීක්ෂණය කෙරෙනවා. 

ළිං කුහරය තුළට ඇදවැටීම හේතුවෙන් ඔහුගේ හිසට සුළු තුවාල සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් දරුවා මුදාගත් සැනින් ඔහුට අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයේ රැඳී සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.