Friday, May 10, 2024

General line - 0115112241

භාරත සිනමාවේ ගීත කෝකිලාවිය දිවිගමනට සමුදෙයි




භාරත සිනමාවේ ගීත කෝකිලාව ලෙස විරුදාවලිය ලද සුප්‍රකට ඉන්දීය ගායිකා ලතා මංගේෂ්කාර් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය මියයන විට වයස අවුරුදු 92ක්.

කොරෝනා රෝගයට මෙන්ම, නියුමෝනියා තත්ත්වය නිසා  මුම්බායි නුවර රෝහලකට පසුගිය මාසයේ ඇතුළත් කෙරුණු ලතා මංගේෂ්කාර් ඉන් සුවය ලැබූ බව පසුගිය ජනවාරි 30 වනදා ප්‍රකාශයට පත්කෙරුණා.

එහෙත් ඊයේ දිනයේදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යළි පිරිහීම නිසා රෝහල් දැඩි සත්කාර ඒකකයට ඇයව ඇතුලත් කිරීමට කටයුතු කළ බවයි මුම්බායි බී්‍රච් කැන්ඩි රෝහලේ වෛද්‍ය ප්‍රාටිට් සම්දානි ප්‍රකාශ කළේ.


1929 සැප්තැම්බර් 28 වනදා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හිදී ලතා මංගේෂ්කාර් උපත ලබන්නේ ළමුන් 05 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් ගැහැණු දරුවා ලෙසයි. 

වයස අවුරුදු 05 දී සංගීත දිවියට අත්පොත් තබන ලතා මංගේෂ්කාර්ගේ සංගීත ගුරුවරයා ද වූයේ ද ඇයගේ පියා. 

පියාගේ වියෝවෙන් පසු වයස අවුරුදු 13 දී සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන ලතා මංගේෂ්කාර්ට, පළමුව ගායනයට මෙන්ම රංගනයට ද අවස්ථාව හිමිවූ අතර ඇය එහිදී සිය දායකත්වය ලබාදුන්නේ මරාටි චිත්‍රපටයක් සඳහායි. එතැන් පටන් මරාටි, හින්දි මෙන්ම බෙංගාලි චිත්‍රපට රැසකටම පසුබිම් ගායනයෙන් එක්වූ ලතා මංගේෂ්කාර්ගේ හඬ බොලිවුඩයට නැතිවම බැරි හඬක් බවට පත්වුණා. 

අසහාය හඬකින් ලොව පුරා සිටින සංගීත ලෝලීන්ගේ හද බැඳ ගත් ලතා මංගේෂ්කාර්, භාෂා 36 කින් ගීත 30,000 කට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබෙනවා. 

1955 වසරේ මෙරට තිරගත වූ සැඩ සුළං සිංහල චිත්‍රපටයේ ඇතුළත් ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත “සිරි දැරු හෙළ දිව පුරාතනේ” ගීතය ගායනා කළේ ද ලතා මංගේෂ්කාර් මහත්මියයි. එම ගීතය ඇය විසින් ගායනා කළ එකම සිංහල ගීතය ද වනවා.

භාරතීය සංගීතය වෙනුවෙන් අඩ සියවසකට අධික කාලයක් පුරා සිදුකළ කළ මෙහෙවර උදෙසා ලතා මංගේෂ්කාර් මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා. ඇයට හිමිවූ සම්මාන අතරට භාරත් රත්න, පද්ම විභූෂණ හා පද්ම භූෂණ යන සම්මාන ද අයත්. 

මෙම අසහාය ගායිකාවගේ වියෝව හේතුවෙන් සමස්ථ ඉන්දියාවම කම්පාවට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ලොව නන් දෙසින් පැමිණි ශෝක පණිවුඩ අතර ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශෝක පණිවුඩය ද වනවා. 

ඉන්දීය ජනාධිපතිවරයා පැවසුවේ ලතා මංගේෂ්කාර්ගේ වියෝව සැලවුණු සැනින් තමන් මහත් කම්පනයට පත්වූ බවයි. එසේම ලතා මංගේෂ්කාර් මහත්මියගේ වියෝව ඉන්දියාවට කිසිදින සම්පූර්ණ කළ නොහැකි වනු ඇති බවයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසන්නේ.