Friday, May 3, 2024

General line - 0115112241

රැසියානු යුක්රේන යුද ගින්න නිවීමට මෝදිට හැකිවෙයිද ?




දිනෙන් දින ප්‍රබල වන රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනය මේ වන විට පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටයි.

රුසියානු ආක්‍රමණයක් හමුවේ නොපැකිලිව යුක්රේනය වෙත සහය දක්වන බවට අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය ,ප්‍රංශය ඇතුළු බටහිර රටවල් මෙන්ම නේටෝ සංවිධානයද යුක්රේන ජනාධිපතිවරයාට පසුගිය සමයේ ප්‍රතිඥා ලබා දුන්නද ඒ සියල්ල මේ වන විට හුදු ප්‍රකාශනවලට පමණක් සීමා වී තිබෙනවා.

සහය දැක්වීම කෙසේ වෙතත්, එම රටවල් සිදුකරන ප්‍රකාශ හා වත්මන් ක්‍රියාකාරකම්වල බලපෑම සත්‍ය වශයෙන්ම හේතු වී ඇත්තේ රුසියාව තවදුරටත් යුක්රේනය වෙත ප්‍රහාර එල්ල කිරීම සදහා යොමු කිරීමට බවයි ඇතැම් ජාත්‍යන්තර විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ.

තත්ත්වය මෙසේ වෙද්දී සැබෑ ලෙසම මෙම අර්බුධය විසදීමේ අරමුණින් මැදිහත් විය හැකි ලෝක නායකයින් කිහිප දෙනා අතර අසල්වැසි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්.

ඉන්දියානු සාගර කලාපයේ බලවතා ලෙසින් ලෝක සාමය පවත්වා ගැනීම හරහා ලෝක දේශපාලනයේ ස්ථාවරතාවය පවත්වා ගැනීම සදහා ඍජු ලෙසම ඉන්දියාව අවශ්‍ය මොහොතේදී සිය දායකත්වය ලබා දීමට මේ වන විටත් ඉදිරිපත්ව සිටිනවා.

ඒ අනුව සිය ලෝක කාර්යභාරය මැනවින් සිය දෙඋර මත රදවා ගත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේනද්‍ර මෝදි මේ වන විටත් රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් හා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සොලොන්ස්කි සමග පවතින තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

ඒ මේ සම්බන්ධයෙන් ඍජුවම දෙපාර්ශ්වයේම රාජ්‍ය නායකයින් සමග සාකච්ඡා පැවැත්වූ ලොව පළමු රාජ්‍ය නායකයා බවට පත් වෙමින්.

ඒ අනුව අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ පැවති සංවාදයකදී වහාම සටන් විරාමයක් සහ සංවාදයකට නැවත පැමිණෙන ලෙස ඉල්ලා සිටි බව ඉන්දීය අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

"රුසියාව සහ නේටෝ සංවිධානය අතර ඇති මතභේද විසඳිය හැක්කේ අවංක සංවාදයකින් පමණක් බව අගමැති මෝදි මෙම සාකච්ඡාවේදී රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින්ට අවධාරණය කර තිබෙනවා.

මෙම සංවාදය ඇතිවන්නේ ඉන්දීය හා රුසියානු විදේශ අමාත්‍යවරුන් දෙපල අතර මෙම අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා පැය 24ක් ඉක්ම යෑමටත් මත්තෙන් වීම විශේෂත්වයක්.

එහිදීද පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරුණා.

මේ ආකාරයෙන් දෙරටේ රාජ්‍ය නායකයින් අතර සාකච්ඡා ඇති වීමට පෙර ඉන්දියාවේ යුක්රේන තානාපති ඉගෝර් පොලිකා ඉන්දීය පාර්ශ්වයෙන් දැඩිට කළ ඉල්ලීම පිළිබදවද ලෝක ප්‍රජාවගේ වැඩි අවදානයක් යොමුවුණා.

එහිදී ඉන්දියාවේ යුක්රේන තානාපතිවරයා අවධාරණය කලේ සිදුවන ලේ වැගිරීම නැවැත්වීම සඳහා ඉන්දියාවේ මැදිහත්වීම සඳහා තමන් බලපෑම් කරන බවයි.
 “අපි ඉන්දීය ස්ථාවරය ගැන දැඩි ලෙස සෑහීමකට පත් නොවෙමු. දැනටමත් 10-15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. අපි ඉන්දියාවේ ප්‍රබල හඬ ඉල්ලා සිටිනවා.

 මෙහිදී අගමැති මෝදිට රුසියානු ජනාධිපති පුටින් මහතා ඇමතීමට හැකියි. ඒ වගේම එතුමාට පුළුවන් අපේ ජනාධිපතිතුමා (යුක්රේන) අමතන්න. ඉන්දීය නිලධාරීන් පැවසුවේ ඔවුන් රුසියා - යුක්රේන තත්ත්වය හොඳින් නිරීක්ෂණය කරන බවයි. මෙයින් අදහස් කරන්නේ නොබැඳී සිටීමේ නිර්මාතෘ වන්නේ මේ මොහොතේ ඉන්දියාවයි. අපි ඉන්දියාවේ සහයෝගය ඉල්ලා සිටිනවා. එය සත්‍යයේ සහ ඉරණමේ මොහොතයි, ”යුක්රේනයේ තානාපති ඉගෝර් පොලිකා පැවසුවේ රුසියානු හමුදා ඉදිරි ගමන නැවැත්වීමට පුටින් මහතා සමඟ පෞද්ගලිකව සංවාදයක් ආරම්භ කරන ලෙස මෝදි මහතාගෙන් දැඩිව ඉල්ලා සිටිමින්.

රුසියාව පැති තුනකින් හමුදා ප්‍රහාර දියත් කර ඇති බවත් ඉතා නුදුරේදීම ගොඩබිම් ආක්‍රමණය ද , අගනුවර වෙත ප්‍රවේශවීමද සිදු වන බවත් ඹහු එහිදී කල්තියාම තහවුරු කළා.

පැරණි සෝවියට් සංගමයේ විදේශ සේවයේ කොටසක් ලෙස 1989 දී සිය රාජ්‍යතාන්ත්‍රික ජීවිතය ආරම්භ කළ තානාපති පොලිකා පැවසුවේ ඉදිරි දිනවලදී ගැටුම විශාල යුද්ධයක් බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.
“අපි අපේ මිතුරන්ට නියෝග කරන්නේ නැහැ. ඔබට අපට යුධමය, රාජ්‍ය තාන්ත්‍රික හෝ වෙනත් ඕනෑම ආකාරයක සහයක් ලබා දිය හැකි බවට අපි ආයාචනා කරනවා” යැයි ඉන්දීය සහ දකුණු ආසියානු කටයුතු පිළිබඳ විශේෂඥයෙකු ලෙස සැලකෙන පොලිකා මහතා පැවසීය.

රුසියාවට බලපෑම් කළ හැක්කේ ලෝකයේ ඉතා සුළු රටවල්වලට බවත් ඉන්දියාව මොස්කව් සමඟ විශේෂ සබඳතා ඇති රටවල් අතරින් එකක් බවත් පොලිකා මහතා පැවසීය.

ඒ අනුව පෙනී යන්නේ පවතින රුසියා - යුක්රේන අර්බුධය විසදාලීම සදහා ඉන්දියාවේ දැවැන්ත මැදිහත්වීමක් යුක්රේනය අපේක්ෂා කරන බවත් ඒ සදහා ලොව සුදුසුම පුද්ගලයා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කෙරෙහි ඹවුන්ග් දැඩි බලාපොරොත්තුවක් පවතින බවයි.

මේ අතරවාරයේ සිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය මැනවින් ලොවට ප්‍රදර්ශනය කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සෙනසුරාදා යුක්රේන ජනාධිපති වොලොදිමීර් සොලොන්ස්කි සමඟ දුරකථන සංවාදයක් නිරත වුණා.

මෙම සංවාදය ඇති වූයේ යුක්රේනයේ අගමැති ඩෙනිස් ෂ්මිහාල් අගමැති මෝදි සමග සාකච්ඡා කර දින හතරකට පසුව සහ දිග හැරෙන ගැටුම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් අතරතුර ඉන්දියාව ඉන් වැළකී සිටීමෙන් පැය කිහිපයකට පසුවයි.

මෙහිදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මෝදිට විස්තරාත්මකව කරුණු දක්වා තිබෙනවා. 

පවතින ගැටුම් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපළ හානි පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබෙන අතර ප්‍රචණ්ඩත්වය වහා නැවැත්වීම සහ සංවාදයට නැවත පැමිණීම සඳහා වූ සිය ඉල්ලීම ඔහු යළිත් මෙහිදී අවධාරණය කර ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

සාම ප්‍රයත්නයන් සදහා හැකි ඕනෑම ආකාරයකින් දායක වීමට ඉන්දියාවේ කැමැත්ත මෙහිදී අග්‍රාමාත්‍ය  නරේන්ද්‍ර මෝදි අවධාරණය කර තිබෙනවා.

ජනාධිපති පුටින් සමඟ කළ සංවාදයේ දීද මෝදි මහතා ප්‍රචණ්ඩත්වය වහා නතර කරන ලෙස" ඉල්ලා සිටියා.

ඉන්දියාවේ අනෙක් ප්‍රධාන උත්සහය වී ඇත්තේ යුක්රේනයට රුසියානු හමුදා විසින් දිගින් දිගටම බෝම්බ හෙලන බැවින් භූගත බංකරවල සිරවී සිටින දහස් සංඛ්‍යාත ඉන්දීය සිසුන්ගේ සහ වෘත්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. 

ඉන්දියාව සිය ජාතිකයන් ඉවත් කිරීම ආරම්භ කර ඇතත්, පවතින සටන් දිගින් දිගටම එම ක්‍රියාවලියට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බවත් ඉන්දීය වාර්තා වල සදහන්
මේ වන විට රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවර උතුරු ප්‍රදේශ වලට ඇතුළු වී ප්‍රහාර එල්ල කරමින් සිටින අතර පවතින ගැටුම් හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළුව මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති යුක්රේන ජාතිකයින් සංඛ්‍යාව 250කට ආසන්නයි.

යුක්රේන වාර්තා උපුටා දක්වමින් බටහිර මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයින් 2800ක් පමණ මේ වින විට ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

සංඛ්‍යාලේඛන වාර්තා මෙසේ වුවත් රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනයට මෙම තත්ත්වය හමුවේ දැඩිම හානියක් සිදුවී ඇති බව ලෝකයටම පසක් වන සත්‍යයක්.
ඒ අනුව පවතින අර්බුධයට “ඇවිලෙන ගින්නට පිදුරු දමනවා” වෙනුවට එය සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට වගකිවයුතු ලෝක නායකයින් කටයුතු කිරීම මේ මොහොතේ අවශ්‍යම කරුණක්.